මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පසුගිය කාලයේ වැඩි කතාබහක් ඇති වූයේ සිද්ධි කිහිපයක් මුල් කරගෙන ය. ජනපති පත්වී මාසයකින් පමණ පැවැති නිදහස් දින සමරු උළෙලේ දී ඔහුගේ ජීවිතයට හානියක් කිරීමට කිසියම් පිරිසක් උත්සාහ කළ බවට කතාවක් තිබුණු අතර එය සනාත වන කිසිවක් හමු නොවීය.

ඉන් පසු පසුගිය අප්‍රේල් මාසයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂකයකු අත්අඩංගුවට පත් වූයේ ජනපති සිරිසේන සහභාගී වූ හම්බන්තොට රැස්වීමකට ගිනි අවියක් සහිතව ඇතුළු වීමට උත්සාහ කලැයි සැකපිටය. හිටපු ජනපතිගේ පාර්ශ්වයෙන් කීවේ එය ගිනි අවියක් නොව වතුර බෝතලයක් බවයි. ඒ සිද්ධියෙන් පසු ජනාධිපති ආකර්ෂක අංශයේ සහකාර පොලිස් අධිකරීවරයකු ඇතුලු කිහිප දෙනකු වැඩ තහනමට ලක් වූ අතර තවත් පිරිසක් මාරු කෙරිණි.

යුද්ධය අවසන් කිරීම සැමරීමට පසුගිය මැයි මාසයේ ජනපති ප්‍රධානත්වයෙන් මාතර පැවැති ජාතික උළෙලට කලු ගල් කැබැල්ලක් රැගෙනි ගියැයි කියන පුද්ගලයකු සහ උණ්ඩයක් රැගෙන ගියැයි කියන පුද්ගලයකු ද අත්අඩංගුවට පත් විය.

තත්ත්වය මෙසේ තිබිය දී ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ගම්පහ බන්ඩාරනායක විද්‍යාලයයේ  පැවැති ත්‍යාග ප්‍රධාන උත්සවයේ ජනපති උත්තමාචාර  පෙළපාළියට සහාගී වූ ශිෂ්‍ය භටයකු ළඟ තුබූ තුවක්කුවක උණ්ඩයක් තිබී ජනපති ආරක්ෂක අංශය සොයා ගත් බව මීට මසකට පමණ පෙර වාර්තා විය. 

හම්බන්තොට පිස්තෝලය වතුර බෝතලයක් වූවා සේම පසුදින වෙද්දී ගම්පහ දී හමුවූ උණ්ඩය දිරා ගිය උණ්ඩ කැබැල්ලක් බවටත්, දින දෙකක් යද්දී හිස් පතුරොම් කොපු කැබැල්ලක් බවටත් පත් විය. එම තුවක්කුවේ ක්‍රියාකාරී කොටස් ඉවත් කර තිබූ බවත් කිසිදු හානියක් සිදුවීමේ අවම හෝ අවස්ථාවක් තිබී නොමැති බවත් ජාතික ශිෂ්‍ය භට බලකාය පසුව කීවේය. ඒ මතින් මේ සිද්ධිය සුළු කොට දැමීමට ජාතික ශිෂ්‍ය භට බලකාය සහ පොලිසිය මෙන්ම පාසල් බලධාරීහු ද කටයුතු කළහ.

විදුහල්පති ලාල් දිසානායක ප්‍රසිද්ධියේ කීවේ මෙය ‘කුණු රසය හදුනන ගස් ගඳ මාධ්‍යවේදීන්ගේ‘ වැඩක් බවයි. ඔහු මාධ්‍යවේදීන් අමතන්නේ එලෙසය.
මේ සිද්ධිය වසා ගන්නට ගම්පහ දිසාවේ ප්‍රකාශයට පත් වන පුවත්පතක් ද උපයෝගී කරගෙන තිබිණි. එහි මේ සිද්ධිය ගැන තිබූ ලිපිය මාධ්‍ය ආචාර ධර්මවලට සම්පූර්ණයෙන්ම පටහැනිය. උණ්ඩ සිද්ධිය ගැන පළ වූ පුවත්පත් වාර්තාව දැඩි ලෙස විවේචනය කරන එම පුවත්පත විදුහල්පතිගේ හා කැඩෙට් භාර ගුරුවරයාගේ ප්‍රකාශ මත පමණක් යැපෙයි. 

විදුහල්පතිගේ හා එම ගුරුවරයාගේ කීමට මුල් ප්‍රවෘත්තිය පළ කළ මාධ්‍යයට මඩ ගසන එම පුවත්පත අඩු තරමේ මුල් ප්‍රවෘත්තිය හෝ කියවා නැති සැටියක් පෙනෙයි. ඔවුන් කියනා ආකාරයට ජනපති සහභාගී වූ උත්සවයේ පතුරම් කොපුවක් (ඔවුන්ට අනුව) තිබීම ප්‍රශ්නයක් නැත. ජනපතිගේ ආරක්ෂාව ඒ තරමටම ඔවුහු පහත හෙළති.
බණ්ඩාරනායක විද්‍යාලයයේ උණ්ඩ කතාවේ ඇත්ත සියලු දෙනාට දැන ගැනීම පිණිස පහතින් දක්වමු.

බණ්ඩාරනායක විද්‍යාලයයේ  ජනපති උත්තමාචාරය සඳහා ශිෂ්‍ය භටයනට භාවිත කිරීමට ගිනි අවි ජූලි 20 වැනි රැගෙන විත් ඇත්තේ රන්ටැඹේනි.  අවි ගෙන එද්දී ඒවා බාරව කටයුතු කර ඇත්තේ හත් වැනි බල ඇණියේ මේජර් ජයසිංහය. රන්ටැඹේ ආයුධ ගබඩාවෙන් ඒවා දෙද්දී පරීක්ෂා කර ලබා දෙන අතර එවා කැඩෙට් නිලධාරීන් ලබා ගත යුත්තේ ද පරීක්ෂා කිරීමෙන් පසුය. එලෙස අවි ගෙන ආ විට තැන්පත් කර තැබන්නේ ප්‍රදේශයේ හමුදා කඳවුරක හෝ පොලිසියක අවි ගබඩාවේ ය. මෙම අවි එවැනි තැනක නොතැබූ බව පාසල් ආරංචි කියයි. අවි ගෙනා දිනයේ දීම ගම්පහ මූලස්ථාන පොලිසියට බාර දුන් බවත්, 22 වැනි දා සිට දිනපතා ගිනි අවිට පාසලට ගෙනැවිත් නැවත පොලිසියට බාර දුන් බවත්, 24 වැනි දා උදෑසන නැවත ගෙන ආ බවත් ශිෂ්‍ය භට බලකාය කියයි.

ආයුධ ගබඩාවකට දැමීමට ගිනි අවි බාර දෙද්දී ආයුධ ගබඩා බාරකරු ඒවා පරීක්ෂා කර බැලිය යුතුය. නැවත ආයුධ ගබඩාවෙන් ඒවා පිටතට  දෙද්දී ගබඩා බාරකරු පරීක්ෂා කර බාර දිය යුතුවා මෙන්ම ශිෂ්‍ය භට බලකායේ නිලධාරීන් ද ඒවා බාර ගත යුත්තේ  පරීක්ෂා කිරීමෙන් අනතුරුවය. බන්ඩාරනායක විද්‍යාලයට ගෙන ආ ගිනි අවි පොලිසියේ ආමරියට (ආයුධ ගබඩාවට)   දුන්නා නම් 20, 22, 23, 24 යන දිනයන්හි දී අවි ගබඩා බාරකරු හා අවි නැවත බාර ගන්නා ශිෂ්‍ය භට නිලධාරියා  අතින් අඩු තරමේ දස වතාවකට වඩා පරීක්ෂාවට භාජනය විය යුතුය.

අවසන් දිනයේ ජනාධිපති උත්තමාචාරයට ශිෂ්‍ය භටයන් යැවීමට පෙර ප්ලැටූන් කමාන්ඩර්, පෙරඩ් කමාන්ඩර්, අණදෙන නිලධාරී හා විධායක අධිකාරී ගිනි අවි ඇතුළු සියලු දෑ පරීක්ෂා කළ යුතුයි. ඉන් පසු නිත්‍ය කාර්ය මණ්ඩල උපදේශක ඉදිරියේ සියලු දෑ අංග සම්පූර්ණව පරීක්ෂා කළ පසු ශිෂ්‍ය භටයන් අදාළ අවස්ථාවට යොමු කරයි.
විදුහල්පති හා ශිෂ්‍ය භට ඛණ්ඩය අතර ආරවුලකින් පසු ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ ශිෂ්‍ය භට ඛණ්ඩය අධ්‍යාපන අමාත්‍යංශය විසින් තහනම් කළ අතර පසුව නව ශිෂ්‍ය භට ඛණ්ඩයක් පිහිටැවිණි. එහි සිසුන් ප්‍රමාණය අඩු නිසා මෙම ජනාධිපති උත්තමාචාර සම්මාන පෙළපාළියට තවත් පාසල් කිහිපයක ශිෂ්‍ය භටයෝ ගෙන එනු ලැබූහ.

ජනපති සිරිසේන එහි එන්නට පෙර සම්මාන පෙළපාළියට සහභාගී වූ සියලු ශිෂ්‍යයන් ජනාධිපති ආරක්ෂකයන් විසින් පරීක්ෂා කරනු ලැබූහ. වෙනත් පාසලකින් ආ සිසුවකු අතේ තිබූ ගිනි අවියක උණ්ඩයක්  හෝ උණ්ඩයක කොටසක් හෝ පතුරම් කොටසක් හෝ තිබී හමු වූයේ ඒ අවස්ථාවේ දීය.

අවස්ථා කිහිපයක දී ගිනි අවි පරීක්ෂා කළා නම් උණ්ඩ කැබැල්ල (ඔවුන් කියනවා පරිදි) අනිවාර්යයෙන් හමු විය යුතුය. එක්කෝ ජනාධිපතිගේ ආරක්ෂාව ගැන නොසිතූ නිලධාරීන් හරි හැටි පරීක්ෂා කිරීම් කර නැත. නැති නම් කවුරුන් හෝ හිතා මතා කඩාකප්පල් කාරී වැඩක් කළ යුතුයි. බොහෝ විට සිදු වන්නට ඇත්තේ ජනපති ආරක්ෂක අංශයෙන් පරීක්ෂා කරන තුරු ශිෂ්‍ය භට නිලධාරීන් නිසි පරික්ෂාවක් කර නැත.

බණ්ඩාරනායක විදුහල්පති පුන පුනා කියා ඇත්තේ එහි තිබුණේ පතුරම් කොපු කැබැල්ලක් බවයි. පතුරම් කොපු කැබැල්ල වෙනුවට එහි උණ්ඩයක්ම තිබුණා නම් එය ද ජනපති ආරක්ෂකයන් පරීක්ෂා කරන තුරු හමු වන්නේ නැත. ජනපති සහභාගී වූූ උත්සවයේ එවැනි තත්ත්වයක් ඇති වීම විදුහල්පතිට සාමාන්‍යය සිද්ධියක්ය. 

විදුහල්පති ඒ මතින් ජනමාධ්‍යයට පහර දෙන්නේ රෙදි ඇඳගෙනදැයි ඇසිය යුත්තේ මීට පෙර ශිෂ්‍ය භටයන් හා විදුහල්පති අතර ඇති වූ ආරවුලේ දී ඔහු බේරුණේ ජනමාධ්‍යය නිසා ය.  
එවර ජනමාධ්‍ය විදුහල්පතිගේ පැත්ත ගත්තේ විදුහල්පති සර්ව සාධාරණ නිසා නොව ඒ අවස්ථාවේ ශිෂ්‍ය භටයක් විදුහල්පතිට එරෙහිව කටයුතු කළ ආකාරයේ වරදක් නිසාය. පාසල් දේපොළ කඩා බිඳ දමමින්, ජනමාධ්‍යයට පහර දෙමින්, පාරේ යන වාහනවලට පහර දෙමින් ශිෂ්‍ය භටයන් කටයුතු කළ නිසා ජනමාධ්‍ය විදුහල්පතිට සහයෝගය දුන්නේය. ශිෂ්‍ය භටයන් විදුහල්පතිගේ ගැටළු හරි ආකාරව ඉදිරිපත් කරමින්, සාමකාමී විරෝධතාවක් කළා නම් ඇතැම් විට බණ්ඩාරනායක විදුහල්පතිට පුටුව අහිමි වීමට ද ඉඩ තිබිණි. 

බැරෑරුම් අවස්ථාවේ විදුහල්පතිට රැකවරණ දුන් ජනමාධ්‍යයට විදුහල්පති පහත් ලෙස කතා කරන්නේ රෙදි ඇඳගෙන දැයි නැවත වරක් ඇසිය යුතුය.

උණ්ඩය ගැන ලංකාදීපයේ පළ වූ මුල් ප්‍රවෘත්තියේ පැහැදිලව සඳහන් වූයේ උණ්ඩ හමුවීම විදුහලට කිසිදු සම්බන්ධයක් නැති බවයි. එමෙන්ම ශිෂ්‍යයාගේ ද ඊට සම්බන්ධයක් නැති බවත් එහි සඳහන් විය. එම වාර්තාවෙන් බන්ඩාරනායක විද්‍යාලයයට කිසිදු හානියක් නොවේ. බණ්ඩාරනායක විදුහල්පති උඩ පැන පැන ජනමාධ්‍යයට පහර දෙන්නේ අඩු තරමේ එම ප්‍රවෘත්තිය වත් නොකියවා බව පැහැදිලිය. 

බණ්ඩාරනායක විදුහල්පති සිදු කළ යුත්තේ ජනමාධ්‍යයට අම්මා මුත්තා මතක් කර බණින එක නොව වරද සිදුවූයේ කොහෙන්දැයි සොයා බැලීමය. ජාතික ශිෂ්‍ය භට බලකාය ද කළ යුත්තේ තමන්ගේ වරද බාරගෙන නැවත එවැනි දෑ නොවීමට කටයුතු කිරීමය.

ජාතික ශිෂ්‍ය භට බලකායේ කලක සිට සිදුවූ සහ සිදුවන දෑ ගැන වෙනම ලිපියක් පසුව බලාපොරොත්තු වන්න...

Post a Comment

 
Top