කොටදෙනියාවේ දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය පැති කිහිපයක් ඔස්සේ පරීක්ෂණ කළ අතර කොටදෙනියාව පොලිසිය මගින් පාසල් සිසුවකු සහ තවත් පුද්ගලයකු පොලිස් භාරයට ගත්තේ සැප්තැම්බර 16 වැනි  බදාදාය.
මිය ගිය දැරියගේ නිවෙස අසලම පුද්ගලයකු 16 වැනි දා උදේ අත්අඩංගුවට ගත් පොලිසිය උදේ 9.30ට පමණ පාසල් සිසුවාගේ නිවසට ගියේය. සිසුවාගේ මිතුරකු වන තවත් සිසුවකු ද එම අවස්ථාවේ නිවසේ සිටියේය.
මව එලියට ගත් පොලිසිය සිසුවා සමග කාමරයට ගොස් ඔහුගේ ලැප්ටොප් පරිගණකය ගෙන සිසුන් දෙදෙනා පොලිසියට ගෙන ගියේය. මවට කීවේ ප්‍රකාශයක් ගැනීමට දරුවා ගෙන යන බවයි. එක් සිසුවකු පමණක් බදාදා සවස නිවසට යැවීය.
ප්‍රකාශයක් ගෙන නැවත එවන බව කී කොටදෙනියාව පොලිසිය බදාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දවස් තුනේම කිසිදු සටහනක් නොයොදා පාසල් සිසුවා සහ අනෙක් සැකකරු පොලිසියේ සිර මැරදියේ රඳවාගෙන සිටියේය. (සිසුවා තවම රිමාන්ඩ් බාරයේ නිසා ඔහුට පහර දුන්නාද යන්න ගැන කිව නොහැකිය.)
මව විටින් විට පොලිසියට ගියත් දරුවා පොලිස් සිර මැදිරියෙන් එලියට ගත්තේ නැත. ඇතැම් පොලිස් නිලධාරීහු මවට නොසෑහෙන්න බැන්නෝය.
දින තුනක් අලිඛිතව පොලිසියේ රඳවාගෙන සිටි සිසුවා සහ අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගත්තේ සෙනසුරාදා උදේ ලෙස පොලිසිය  ව්‍යාජ සටහන් තැබීය. ඒ බව මාධ්‍ය වෙතද කීවේය. අත්අඩංගුවට ගැනීම ගැන ඇතැම් මාධ්‍ය ප්‍රශ්න කරද්දී   හේතු පැහැදිලි කිරීමට අපහොසත් වූ පොලිසිය කළේ සිසුවා හොඳ කෙනකු නොවන බව සමාජය ගත කිරීමට උත්සාහ කිරීමයි. ඔහු ගංජාවලට ඇබ්බැහි වූවෙක් බව කීවේය. සිසුවාගේ ලැප්ටොප් පරිගණකයේ ලිංගික දර්ශන සහිත වීඩියෝ දර්ශන බරගණනක් තිබුණු බව කීවේය.
ලිංගික දර්ශන සහිත වීඩියෝ තිබීම හා දැරියගේ ඝාතනය අතර සම්බන්ධයත්, දැරියගේ ඝාතනයට සැක කිරීමට ලිංගික දර්ශන සහිත වීඩියෝ තීබිම ගැලැපීමටත් පොලිසිය අපොහොසත් විය. සිසුවා ගංජාවලට ඇබ්බැහිවූවකු බව පොලිසිය කීවත් එය ඔප්පු කිරීමට සාක්කි නොලැබිණි. සිසුවා සන්තකයේ ගංජා නොතිබිණි.
‘අපරාධයක් ගැන ප්‍රශ්න කරන්න අත්අඩංගුවට ගන්නේ නැතිව පරීක්ෂණ කරන්නේ කොහොමද? මේවට විරුද්ධව කෑ ගහන හින්දා තමයි අපරාධ වැඩිවෙන්නේ.‘ යැයි සමහරු කීහ.
අපරාධයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට කෙනකු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නොවේ. උදාහරණයක් ලෙස කොටදෙනියාව දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය මේ වන විට 30කට ආසන්න පිරිසකගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. නමුත් ඔවුන් සියලු දෙනා අත්අඩංගුවට ගෙන නැත.  
කෙනකු අත්අඩංගුවට ගැනීමට නම් සාධාරණ සැකයක් තිබිය යුතුය.  සිසුවා අත්ඩඅංගුවට ගැනීමට ඇති සාධාරණ සැකය කුමක්ද? කිසිදු සාධාරණ සැකයක් නැත. තොරතුරක් ලද පමණින් අත්අඩංගුවට ගැනීම ද වැරදිය. කිසිවකු තමාගේ තරහකරු ගැන මොනයම් හේ බේගලක් ඇදබෑවොත් පොලිසිය ඒ කීම මත ඔහු අත්ඩංඩගුවට ගන්නේ නම් එය වරදකි. ඒ කීම සත්‍යදැයි සොයා බලා විමර්ශනයක් සිදු කර ඒ කීම සත්‍ය නම් අත්අඩංගුවට ගත හැකිය. එසේ නැතිව අත්අඩංගුවට ගත නොහැකිය.
පොලිස් අංක ඒ 20 දරණ දෙපාර්තමේන්තු නියෝගයේ බී 11 වගන්තියේ මෙසේ සඳහන් වෙයි.
‘වරෙන්තුවක් නොමැතිව සිර භාරයට ගත් තැනැත්තකුට ඇප දී නැත්නම් අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව ඔහු අධිකරණ  බලය ඇති මහේස්ත්‍රාත්වරයකු ඉදිරිපිටට යැවිය යුතුය.‘
පාසල් සිසුවා අත්අඩංගුවට ගෙන දින හතරක් පොලිසියේ රඳවා ගැනීමෙන් පොලිසිය එම දෙපාර්තමේන්තු නියෝගය කඩ කර ඇත.
පොලිස් දෙපාර්තමේන්තු අංක ඒ 20හි සිරභාරයට ගත් තැනැත්තන් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු නියෝග 17හි මෙසේ සඳහන් වෙයි.
‘සිර භාරයට ගත් සිරකරු සම්බන්ධයෙන් එනම් ඔහු සිරභාරයට ගත් වේලාව, සිර භාරයට ගත් තැනැත්තා සම්බන්ධ තොරතුරු, චෝදකගේ චෝදනාව, සිරකරු බීමත්ව සිටීද යන්න හා ශරීරයේ වූ තුවාල ආදියේ  ස්වභාවය හා ඔහු සන්තකයේ ඇති දේපොළ හා භාණ්ඩ පිළිබඳ විස්තර වහාම තොරතුරු පොතේ සඳහන් කළ යුතුය. සිරභාරයට ගත් තැනැත්තා සිර භාරයට ගැනීමට හේතු හා චෝදනාවේ ස්වභාවය පිළිබද තොරතුරු පොතේ සහන් කළ යුතුය.‘
කොටදෙනියාව පොලිසිය එම දෙපාර්තමේන්තු නියෝගයද කඩ කර ඇත. ඔවුන් සටහන් යොදා ඇත්තේ සිර භාරයට ගෙන දින තුනකට පසුය.
මෙවැනි දෙපාර්තමේන්තු නියෝග සම නීති සම්පාදනය කර ඇත්තේ පොතේ සටහන් නොකරන සිරකරුවකු තබා ගතහොත් පොලිසියට අවශ්‍ය නම් ඔහු මරා දැමීමට උවද හැකි නිසාය. අඟුලාන ද්විත්ව ඝාතනය ඊට කදිම නිදහසුනකි. ඒ ගැන කළ මානව හිමිකම් කොමිෂන් වාර්තාවේ ද එය පැහැදිලිව සඳහන් කර ඇත. ලේඛන ගත නොකර රඳවාගෙන සිටි සැකරකුවන් දෙදෙනා පොලිසිය විසින් පසුව වෙඩි තබා මරා දමා තිබිණි.
අපරාධ නඩු විධාන සංග්‍රහයේ 36 වැනි වගන්තිය අනුව ද අත්අඩංගුවට ගත් තැනැත්තකු අනවශ්‍ය ප්‍රමාධයකින් තොරව අධිකරණයට ඉදිරිපත් කළ යුතුය.
ජයසිංහ එදිරි සමරවික්‍රම (1994 2 එස්එල්ආර්) හා නාලිකා කුමුදුනී එදිරි නිහාල් මහින්ද, හුංගම ස්ථානාධිපති (එෆ් ආර් 615/95)  දරණ නඩු වලදී ද නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපටියට අනුව ආසන්නමතම නිසි අධිකරණයේ විනිශ්චකාරවරයා ඉදිරියට සැකකරුවන් ගෙන යෑමට වගඋත්තරකරුවන් අපොහොසත් වීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 (2) ව්‍යවස්ථාව උල්ලංඝණය වී ඇති බව තීරණය කර තිබේ.
වික්‍රමබන්දු එදිරි සිරිල් හේරත් සහ තවත් අය (ශ්‍රේෂ්ඨාධිකරණයේ 27/88) නැමැති නඩුවේ දී තීරණය කර ඇත්තේ නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටියට අනුකූලව කරනු ලබන රඳවා ගැනීමක් මිස අනෙකුත් සෑම රඳවා තබා ගැනීමක්ම දණ්ඩනයකට යටත් කිරීමක් බවයි. එනම් ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 (4) ව්‍යවස්ථාව උල්ලංඝණය වන බවයි.
මේ සිසුවා සහ අනෙක් සැකකරු  නිසි ක්‍රමවේදයකින් තොරව පොලිසියේ රඳවා තබා ගැනීමෙන් එම මූලික අයිතිවාසිකම උල්ලංඝණය වී තිබේ
ඉතා දරුණු අපරාධකරුවකුට වුව ද මූලික අයිතිවාසිකම් සඳහා අයිතිවාසිකමක් ඇති බව කපුගීකියන එදිරි හෙට්ටිආරච්චි නඩුවේ දී .ද අධිකරණ පිළිගෙන ඇත.
එවැනි පසුබිමක පාසල් සිසුවකු සාධාරණ සැකයක් නැතිව අත්අඩංගුවට ගෙන නීතියේ නියම කර ඇති ප්‍රතිපාදන වලින් බැහැරව රඳවා ගැනීම මොණ තරම් අසාධාරණ ද?

(කොටදෙනියාව දැරියගේ ඝාතනයේ දී ජනමාධ්‍ය රඟපෑ භූමිකාව පසුව බලාපොරොත්තු වන්න.)
(තරිඳු ජයවර්ධන)

Post a Comment

 
Top