රතුපස්වල යළි කරලියට පැමිණ ඇත. ඒ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ මැදිහත්වීම නිසා ය. මහින්ද රාජපක්ෂ රජය සමයේ පිරිසිදු පානීය ජලය ඉල්ලූ පිරිසකට යුද හමුදාව ලවා වෙඩි තබා තිදෙනකු මරා පනස් ගණනක් තුවාල කර වසර දෙකක් ඉක්ම ගිය පසු තරුණ ජනමාධ්‍යවේදීන් රතුපස්වල දඩ බිමට ගියේ මේ වන තෙක් ගම්වාසීන්ට සාධාරණයක් ඉටු නොවූ බැවිනි.
රාජපක්ෂ රජයේ අමාත්‍යංශ ලේකම්වරයකු මෙන්ම කුප්‍රකට ව්‍යාපාරිකයකු ද වූ ධම්මික පෙරේරාට අයත් හේලීස් ව්‍යාපාරයේ වෙනිග්‍රොස් නම් අත්වැසුම් නිපදවන කම්හලෙන් පිටකරන අප ජලය භූගත ජල මූලාශවලට එක්වී වතුරේ පී.එච් අගය අඩු වී ඇති බව කියමින් රතුපස්වල උද්ඝෝෂණ ඇරැඹිණි. 1997 සිට වරින් වර විවිධ විරෝධතා කළත් පළක් නොවූයෙන් අවසානයේ අඛණ්ඩ උද්ඝෝෂණය පටන් ගත්තේ 2013 ජූලි 27 වැනි දාය. ඊට දින පහකට පසු එනම් අගෝස්තු පළමු වැනි දා බැලුම්මහරදී හා වැලිවේරියේ දී ශ්‍රී ලංකා යුද හමුදාව ලවා පහර දී වෙඩි තැබූහ.
සිද්ධියෙන් දෙවසරක් ගත වී සහ රාජපක්ෂ රජය පෙරලී මාස හයක් ගත වී තිබියදීත් රතුපස්වලට තවමත් සාධාරණයක් ඉටු වී නැත.
තුවාල ලැබූවනට වන්දි නැතිවා සේම සහන මිලට ලබා දීමට පොරොන්දු වූ නල ජල සම්බන්ධතා ලබා දීම ද අතර මඟ නැවතී තිබේ.
උද්ඝෝෂණයට ගිය ගම්වාසීන්ට විවිධ චෝදනා මත නඩු පටලවා තිබේ.
මූලික මිනිස් අයිතිවාසිකමක් උදෙසා සටන් කර අද අතින් සල්ලි ගෙවා නීතීඥවරුන් අල්ලා නඩු කියනා තැනට ගමේ පිරිස් ඇද දමා ඇත.
කබලෙන් ලිපට වැටුණු ගම්වාසීන්ට කිසිවකුගෙන් සහනයක් නොලැබෙන මොහොතක ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පෙරට ආවේය. එමගින් රතුපස්වල ගම්වාසීහු නව පණක් ලැබූහ.
ගමේ කිහිප දෙනෙක් තනි තනිව හෝ අරගලය දිගටම ගෙන ගියහ. තමන්ගේ ගමේ උදවියට සාධාරණයක් ඉටු කර දීමට වෙහෙසුනහ. සුරේෂ් පෙරේරා ඉන් එක් අයෙකි. අනුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන්නට ගිය ඔහුට අන්තිමේ සිදු වූයේ නඩුවල පටලැවීමටය. නඩු දෙකකට ඇප පිට සිටින සුරේෂ්ට රට රැකියාවකට යෑමේ අවස්ථාව උදාවුවත් ඇප කොන්දේසි නිසා රට රස්සාව ද අහිමි විය. එක් නඩු වාරයකට නීතීඥ ගාස්තුව රුපියල් දස දහසකි.
රතුපස්නල සිද්ධියෙන් මාස ගණනකට පසු කම්හලකට විරෝධය පලකරමින් තුන්නානේ උද්ඝෝෂණයක් ඇරැඹි අතර එය මෙහෙයවූයේ සුරේෂ් යැයි කියමින් ඔහු අත්අඩංගුවට ගැනීමේ තැතතක් ද ඒ දින වල ක්‍රියාත්මක විය. ඒ සුරේෂ් නිහඬ කිරීමටය.
විවිධ පාර්ශ්වයන්ගෙන් ලබා දීමට ගිය කිසිදු වරප්‍රසාදයක් සුරේෂ් ගත්තේ නැත.  සියලු අභියෝග හමුවේ ඔහු නොසැලී තවමත් කොන්ද කෙළින් තබාගෙන සිටියි.
 සුරේෂ් හැප්පුනේ එසේ මෙසේ පිරිසක් සමග නොව එකල රට පාලනය කළ උදවියගේ පවුලේ හිතවතුන් සමඟය.
වෙඩි වැදී තුවාල ලැබුවන්ට වගකිවයුත්තන්ගෙන් වන්දි නොලැබෙන තැන එල්ලේ තරඟයක් පවත්වා ඉන් ලද සොච්චම් මුදල තුවාල කරුවකුට දෙදෙනකුට දීමට මූලික වූයේ ද සුරේෂ්ය. සහන මිලට නල ජල සම්බන්ධතා ලබා ගැනීමට මූලික වූයේ ද ඔහුය. ඔහුගේ ව්‍යායාමය නිසා පවුල් දහසකට පමණ නල ජලය ලැබිණි. පසුගිය රජය සමයේ හදිසියේ ජල සම්බන්ධතා සහන මිලට දීම නතර විය. ඒ වෙනුවෙන් එදා සිට හඩ නගන්නේ ද සුරේෂ්ය.
රතුපස්වලට තරුණ ජනමාධ්‍යවේදීන් ගිය ගමනේ දී ද වැඩියෙන්ම උදව් උපකාර කළේ සුරේෂ් ය.
 රාජ්‍ය ත්‍රස්ත වාදයට බයේ බොහෝ දෙනකු පළා ගිය කාලයක ඒ කිසිවකට නොබියව පෙරටම ගිය සුරේෂ් පෙරේරා අපේ කාලයේ වීරයෙකි. ඇත්තටම ඔහු අගය කළ යුතු පුද්ගලයෙකි.



Post a Comment

 
Top