සුප්‍රකට රගර් ක්‍රීඩකයකු වූ මොහොමඩ් වසීම් තාජුදීන්ගේ මරණය රිය අනතුරක් නොව ඝාතනය බවට මේ වන විටත් කරුණු රැසක් අනාවරණ වී හමාරය.
තාජුදීන් මරා දමා ඇත්තේ නිකම්ම නොව දරුණු වද හිංසා පමුණුවා බව අධිකරණ වෛද්‍යවරු කියති.
තාජුදීන්ගේ ශරීරයේ තිබුණු වැදගත්ම අස්ථි කොටස් කිහිපයක් අතුරුදන්වීම මේ දිනවල කතාබවට ලක් වී ඇත.  එවැනි අස්ථි කොටස් ආරක්ෂා කිරීම අධිකරණ වෛද්‍ය විශේෂඥයාගේ වගකීමකි. වසර ගණනාවක් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය විශේෂඥවරයාව සිටි ආනන්ද සමරසේකර කියන්නේ එම කොටස් සුරක්ෂිතව තබන ලෙස කණිෂ්ට කාර්ය මණ්ඩලදෙදෙනකුට බාර දුන් බවයි. එම සේවකයන් දෙදෙනා කියන්නේ තමාට එවැන්නක් බාර නුදුන් බවයි.
තාජුදින්ගේ මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ආනන්ද සමරසේකර අධිකරණයට ඉදිරිපත් කළේ වසර දෙක හමාරකට පසුය. එය ඉදිරිපත් කළේ ද අධිකරණය ඉල්ලීමක් කළ නිසාය. අධිකරණය ඉල්ලීමක් නොකළේ නම් මේ වන තුරු අධිකරණ වෛද්‍ය වාර්තා නැත.
ආනන්ද සමරසේකරගේ වාර්තා පමා වීම හා අස්ථි කොටස් නැතිවීම ගැන මේ වන විට බරපතල සැකයක් පවතී.
ඊළඟ කාරණය තාජුදීන්ගේ මරණය රිය අනතුරක් බවට පොලිසිය තීරණය කළ ආකාරයයි. තාජුඩීන්ගේ මුදල් පසුම්බිය හමු වූයේ රිය අනතුර වූවායැයි කියන ස්ථානයට කිලෝමීටර ගණනක් දුරිනි. එයම සැකයට තුඩු දෙන කරුණක් වුවත් පොලිසිය ඒ කිසිවක් ගණන් ගත්තේ නැත.

තාජුඩීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයා අද ප්‍රකාශ කළ ආකාරයට මේ රංගනය පිටුපස සිටින්නේ කුප්‍රකට අනුර සේනානායකය. එවකට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයාව සිටි අනුර සේනානායක ප්‍රසිද්ධව සිටියේ නිල නොවන පොලිස්පති ලෙසය.
නීතීඥවරුන්ට අනුව තාජුඩීන්ගේ දෙමාපියන් අනුර සේනානායකගේ කාර්යාලයයටම කැඳවා මෙය රිය අනතුරකින් වූ මරණයක් බව දැනුම් දී ඇත. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ කාමරයටම කැදවා එවැන්නක් දැනුම් දීමට ඇති අවශ්‍ය තාවය කුමක්ද?
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කළේ ප්‍රභූවරයකුගේ කොන්ත්‍රාත්තුවකි. සිද්ධිය යට ගැසූ අනුර සේනානායක තවමත් නිදැල්ලේ ය.
රතුපස්වල වෙඩි තැබීමට යුද හමුදාව ගෙන්වූයේ පොලිස්පතියැයි කියන ලෙස ගම්පහ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීට උගැන්වූයේ ඔහුය. එලෙස කියා පොලිසිය ගෙන්වූයේ ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීයැයි මානව හිමිකම් කොමිසමට බොරු කීවේ ද ඔහුමය. රතුපස්වල උද්ඝෝෂණය කළොත් අතරමගදී උස්සනවායැයි නීතිඥ පාලිත සේනාරත්න මහතාට තර්ජනය කළේ ද ඔහුමය.
රාජපක්ෂ පාලනය කාලයේ සිදුවූ බොහෝ සිදුවීම්වලට අනුර සේනානායක දායක විය. ඊට තෑගි ලෙස ඔහුට රාජපක්ෂලාගෙන් සේවා දිගු දෙකක් ලැබිණි.
ඔහු කළ කී දෑ ගැන විමර්ශනයක් නොකරම යහ පාලන ආණ්ඩුවද සේනානායකට ගෙදර යෑමට ඉඩ දුන්නේය.

රාජපක්ෂ ආණ්ඩුවේ නිල නොවන පොලිස්පති ලෙස කටයුතු කළ අනුර සේනානායක අත්අඩංගුවට ගන්නේ කවදාද?

Post a Comment

 
Top