ඇවන්ගාඩ් මැරිටයිම් ප්‍රශ්නය දැන් බොහෝ දුර ගොසිනි. එය කෙතරම් දුර ගොස් ද කියතොත් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පමණක් නොව මාධ්‍යවේදීන්ගේ සුජාත භාවය ප්‍රශ්න කරන තැනටම එය තල්ලුවී ඇත.
ඇවන්ගාඩ් මැරිටයිම් ආයුධ ගබඩාව දැන් හැමෝටම අමතකය. එම සමාගම නීති විරෝධීව අවි ගනුදෙනු කළාය කියන කාරනය දැන් අමතකය. ඇවන්ගාඩ් සමාගම ගිනි අවි ආඥා පනත උල්ලංඝනය කිරීම, පුපුරණ ද්‍රව්‍ය ආඥා පනත උල්ලංඝණය කිරීම, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත උල්ලංඝණය කිරීම සහ මුදල් විශුද්ධිකරණ පනත උල්ලංඝණය කිරීම ගැන අතිරේක සොලිස්ටර් ජනරාල් වසන්ත නවරත්න බණ්ඩාර දුන් වාර්තාව දැන් අමතකය.
ඇමැතිවරුන් සල්ලි ගත්තායැයි කියන කතාවට මාධ්‍ය ලොකු ඉඩක් දෙයි. දේශපාලන සමාජයේ ද කතාබහට ලක් කරයි. ඇමැතිවරුන් සල්ලි ගැනීම ගැන කතා කළ යුතුමය. එය හැබෑය. ප්‍රශ්නයඑය නොවේ.  ඇවන්ගාඩ් විරෝධී උදවිය සල්ලි ගත්තාය කියන කතාවට විශාල ප්‍රසිද්ධියක් දෙන පිරිස් ඇවන්ගාඩ් ගාඩ් කරන පිරිස ගැන අනුගමනය කරන්නේ නිහඬ පිළිවෙතකි.

රාජිත සේනාරත්න සල්ලි ගත්තාය කියා මහා ලොකු ඝෝෂාවක් කළේය. නමුත් එළියට ආවේ රාජිතගේ ලේකම්වරයකු හා සේනාදිපති අතර සාකච්ඡාවක හඬපටයක් පමණි. එමගින් රාජිත සල්ලි ගත් බව එයි ඔප්පු වන්නේ නැත. ඊළඟට ෆොන්සේකා සල්ලි ගත් බව කීවේය. නමුත් එළියට ආවේ ෆොන්සේකාගේ ලේකම්වරයකුගේ හඬ පටයක් පමණි. ෆොන්සේකා ගත් බවක් එයික් ඔප්පු නොවේ. චම්පිකට චෝදනා කළත් ඔහු ගැන කිසිවක් එළියට ආවේ නැත.
ඇවන්ගාඩ්ලාගෙන් සල්ලි ගත්තාය කියන ඇමැතිවරුන් ගැන කතා කරන බොහෝ දෙදෙනක් , ඇවන්ගාඩ් අධිපති සමග සවාරි ගිය බවට ඡායාරූප සාක්කි පවා ඉදිරිපත් වූ අධිකරණ ඇමැති විජයදාස ගැන කිසිම කතාවක් නැත.ජනපති හමුවීමට ඇවන්ගාඩ් අධිපති එක්කාගෙන ගියැයි කියන වජිර අබේවර්ධන ගැන හම් කියන්නේ නැත. ඡන්දෙ කාලේ වජිරට ලැබුණු සමහර පහසුකම් ගැන ඇහැක් හැර බලන්නේ නැත. ඇවන්ගාඩ් නිසා ඇමතිකමින් අයින් වීමට වූ මාරපන ගැන ද සද්ධයක් නැත.
ඇවන්ගාඩ් විරෝධී ඇමැතිවරුන්ට එක හැන්දකිනුත් ඇවන්ගාඩ් පක්ෂ ඇමැතිවරුන්ට තව හැන්දකිනුත් බෙදන්නේ ඇයිදැයි ඊළඟට පැන නගින ගැටළුවයි.
එම තර්ක ඉදිරිපත් කරන අය එක්කෝ ඇවන්ගාඩ් සමාගම හරි යැයි පිළි ගනී. නැත්නම් ඇවන්ගාඩ් සමාගම වැරදි යැයි පිළිගත්තත් එයින් ලැබුණු සංතෝෂම් නිසා ඊට එරෙහිව කතා නොකරයි. එසේද නැත්නම් ඇවන්ගාඩ් විරෝධී පිරිස් දඩයම් කිරීමේ මෙහෙයුමක  ඔවුන්ද කොටස් කරුවන්ය. මේවායින් එකක් නම් විය යුතුමය.
ඇවන්ගාඩ් සම්බන්ධයෙන් ගෝඨාභය, සේනාධිපති ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස අතිරේක සොලිස්ටර් ජනරාල් දුන් වාර්තාවේ මේ වාඛ්‍ය වැරදියි කියා කියන්නට හෝ කිසිවෙක් ඉදිරිපත් නොවූහ. එය සිතා මතා මගහැරියෝ ය.
ඇමැතිවරුන් සල්ලි ගත්තාය කියා ඇමැතිවරුන්ට ඇගිල්ල දිගු කරන බොහෝ දෙනෙක් ඇමැතිවරුන්ට සල්ලි දුන් බව කියන සේනාධිපති ගැන හරියට කතා කරන්නේ නැත. ප්‍රශ්නය ඇමැතිවරුන් සල්ලිවලට ගැනීමට තරම් සේනාධිපති වැඩ කාරයෙක් වුණේ කෙසේද යන්නයි. පෞද්ගලික කොම්පැනි අයිතිකාරයකුට රටත් ජනමාධ්‍ය සමාජයක් පාලනය කිරීමට තවදුරටත් ඉඩ දෙනවාදැයි සිහි බුද්ධියක් ඇති සියලු දෙනා සිතා බැලිය යුතුය. 

Post a Comment

 
Top