අරනායක නාය යෑම ශ්‍රී ලංකාවේ මෑතකදී සිදුවූ ලොකුම නාය යෑම කියලා කියන්න පුලුවන්. අරනායක සාමසර කන්දේ ජීවත් වූ පවුල් 220කින් තවමත් තොරුතොරු තියෙන්නේ පවුල් 21ක විතරයි. අනිත් පවුල්වල කිහිප දෙනකුගේ පමණයි තොරතුරු තියෙන්නේ.

අරණායක නාය යෑම ගැන මට අහන්න ලැබුණේ 17 වැනිදා රාත්‍රී. ඒ වන විට මම හිටියේ හිතවතුන් පිරිසක් සමග. පසුදින උදේ ආරංචි වුණා බුලත්කොහුටියේ නාය යෑමක් ගැන. ඉන් අනතුරුව අපට ඒ තැන් දෙකටම යන්න වුණා. මුල්ම දවසේ ගියේ කාර්යාලයයේ වාහනයක. ලහිරු හර්ෂණ, කෞෂල්‍ය සමින්ද සහ කුෂාන් පතිරාජ සමගයි ගියේ.

මුලින්ම ගියේ බුලත්කොහුපිටියට. බුලත්කොහුපිටියේ සිට කිලෝමීටර පහක් පමණ ඇවිත් ඉන් පස්සේ තවත් කිලෝමීටර පහක් පමණ ත්‍රීරෝද රියෙන් යන්න වුණා සිද්ධිය වුණා. කළුපහන කියන තේ වතු යායෙයි මේ අනතුර වෙලා තිබුණේ. ත්‍රීරෝද රියෙන් බැහැලා තවත් කිලෝමීටරයක් පමණ පයිනුත් යන්න වුණා.
බුලත්කොටුපිහිය නාය යෑමෙන් 16 දෙනකු පස් කන්දට යට වී තිබුණ අතර අප යන විට දෙදෙනකුගේ සිරුරු සොයා ගෙන තිබුණා. ඉතිරි පිරිස සොයා ගැනීමට යුද හමුදාව ලොකු වෙහෙසක් ගත්තා.

ඉන් පසු අපි ගියේ අරණායකට.

නාය ගිය කන්ද පාමුලට අපි යන විටත් සෑහන පිරිසක් එය බලන්න ඇවිත් හිටියා. පාරට මීටර 200ක් පමණ දුරින් පිහිටි පාලම පහු කරද්දී යන්තම් පාරක ලකුණු තිබුණත් එහි වැඩිපුරම තිබුණේ මඩ තට්ටු. ඉන් මිටර 200ක් පමණ යද්දි සම්පූර්ණයෙන්ම මඩ. එතැන තිබිලා තියෙන්නේ කුඹුරු යායක්. හැබැයි අපි යන විට කුඹුරක ලක්ෂණයක්වත් නෑ. සම්පූර්ණයෙන්ම මඩ. මඩ පහර අතරින් පොඩි වතුර පාරක් ගලාගෙන යනවා. මිනිස්සු ඒ වතුර පාර දිගේ බාගෙට හානි වුණු ගෙවල් අතරින් උඩට යනවා. අපිත් ඒ පිටිපස්සෙන් ගියා.


වෙළ අයිනෙදි අපේ කෞෂල්‍යව හා කුසාන් අයියව මඩේ එරුණා. ඉන් පස්සේ කුෂාන් අයියා, ලහිරු හා කෞෂල්‍ය සපත්තු සෙරප්පු ගලවලා තියලා තවත් උඩට ගියා. මම එදිනම ගත්තු අලුත් සෙරප්පු දෙකක් නිසා ගැලෙව්වේ නැතුව උඩට ගියා.

ඔහොම උඩට යද්දි ගෙයක් තියෙනවා. ඒ ගෙයි පිටුපස ඔක්කොම පස්වලට කැඩිලා තල්ලු වෙලා ඇවිත් බුදු ගෙයි තියෙන තැනට තද වෙලා තියෙනවා. බුදු පිළිමෙත් සමග තියෙන බුුදු ගෙයි වහළට මොනවත් වෙලා තිබුණේ නෑ.

මම සහ කෞෂල්‍ය එතැන ඉන්දි ලහිරු සහ කුෂාන් අයියා තව ටිකක් උඩට යන්න ගියා. ඒ එක්කම වැස්සක් ආවා. ඒ හරියේ හිටපු හැමෝම දිව්වා වැස්සෙන් බේරෙන්න. කුෂාන් අයියා සහ ලහිරු අත එක කුඩයයි තිබුණේ. පස් කන්ද උඩ තිබුණු ගලක් උඩට වෙලා එක කුඩේ යටින් ඉඳන් කුෂාන් අයියයි ලහිරුයි එයාලගේ කැමරා ආරක්ෂා කර ගන්න උත්සාහ කළා.

බුදු කුටියේ වහළය තියෙන නිසා මමයි කෞෂල්‍යයි එතැන නොතෙමී ඉන්න උත්සාහ කළා. සුළඟේ සැරට වටෙන්ම වතුර වදිනවා.  ටිකක් වෙලා ඉන්දි වැස්ස ගොඩක් වැඩි කළා. කුෂාන් අයියගෙයි ලහිරුගේ කැමරා ආරක්ෂා කරගෙන ඉන්න බැරිම තැන කෞෂල්‍ය කුඩයක් අරගෙන උඩට ගිහින් දෙන්නව බුදු කුටිය ගාවට එක්කගෙන ආවා. වැස්සේ සැරට ඇතුළටත් වතුර වදිනවා. බුදු කුටියේ වීදුරු ජනේලය ඇරලා කෞෂල්‍යගෙයි, ලහිරුගෙයි, කුෂාන් අයියාගෙයි කැමරා ඇතුළට දැම්මා.

එතැන තව කොල්ලෙක් හිටියා. එයා ගාල්ලේ කෙනෙක්. එයාගේ අයියාත් හිටියේ මේ කන්දේ කියලා බලන්න ඇවිත්. ඇවිත් බලද්දි ගෙයක් තිණු තැනක්වත් හොයා ගන්න බෑ. එයා අයියාගේ ගේ තිබුණු දිහා බලාගෙන හිටියා. ඒ ඉන්න ගමන් මෙහෙම කිව්වා   සිය ගණනක් පස්වලට යට වෙලා බුදු පිළිම විතරක් බේරුණා කියලා වැඩක් තියෙනවද කියලා. ඒ ගැන කතා වෙවී ඉන්දි අමුතු සද්ධයක් එන්න පටන් ගන්තා. හයියෙන් ගොරවනවා වගේ. නවතින්නේ නැතිව ඒ සද්දේ ආවා. හරියට හෙලිකොප්ටරයක් කඩා වැටේනවා වගේ.
ඒ සද්දෙට අපේ කට්ටියම බය වුණා. මොකද කරන්නේ කියලා හිතා ගන්න බැරි වුණා. එකපාරට මතක් වුණේ නාය යද්දි මෙහෙම සද්ධයක් ආවා කියලා බේරුණු අය කිව්ව කතා ගැන. එන්න එන්නම ඒ සද්දෙ එක්ක ලොකු වතුර පාරක් යනවා වගෙත් සද්ධයක් ආවා. විනාඩි තුනක්වත් ගියේ නෑ. මහා සද්ධයත් එක්ක අපි සිටි තැනට මීටර තුනක් හෝ හතරක් දුරින් පස් කන්ද මහ වතුර කඳක් එක්ක කඩාගෙන ගියා.


අපි හැමෝම බය වෙලයි හිටියේ. ලහිරු කියනවා ඔෆිස් එකට කෝල් කරන්නලු. මං කිව්වා ඔෆිස් එකට කෝල් කළා කියලා අපිව ඇවිත් බේර ගන්න පුළුවන්යැ කියලා. ඒ එක්කම අර ආපු සද්ධෙ ආයෙත් එන්න පටන් ගත්තා.  සද්දේ වැඩි වෙද්දිම වෙද්දිම කුෂාන් අයියා කිව්වා මෙතෙන හිටියොත් නිකන්ම යට වෙන්න පුළුවන්, ඕන දෙයක් කියලා අපි තෙමීගෙන හරි  දුවමු කියලා.

මගේ අති තිබූණු ඉටි බෑගයට අනිත් තුන්දෙනාගෙම කැමරා දාගත්තා. දාලා ඒ බෑගය කෞෂල්‍යගේ අතට දුන්නා.

මුලින්ම ලහිරු සහ කුෂාන් අයියා පාරක් හොයා ගන්නම් කියලා ඉස්සරහන් දිව්වා. ඒ පිටිපස්සෙන් මමත් කෞෂල්‍යත් දිව්වා.

කොහොම හරි ලහිරු දුවාල ගිහින් කන්දකට නැගලා ආයෙත් කෑ ගහන්න ගත්තා පස් කන්ද එනවා ඉන්මණින් දුවන්න කියලා. අපි කොහොම හරි දුවලා ගිහින් කන්දට නැංගා. ටිකක් දුර දුවද්දි කවුරුවත් නැති ගෙවල් තිබ්බා. ඒ පැත්තෙන් දිගටම යද්දි පාරක් හමු වුනා. අපි ඒ පාර දිගේ ගිහින් නැවත ප්‍රධාන පාරට ආවා. කොහොම හරි යාන්තම් බේරිලා නැවතත් ගෙවල්වලට ආවා.

පහුවැනිදා උදෙත් මම අරනායක ගියා.

එදා අපි හිටපු තැනටත් ගියා. ගිහින් බලද්දි දැක්කේ අපි දුවපු පාර ඒ වෙද්දි යට වෙලා. අපි ඉන්න වෙලාවේ කඩාගෙන ආපු පස් කන්ද ඒ පැත්තට ඇවිත් තිබුණා.

දෙවැනි දවසේ කඳු පාමුල වෙල් යාය ප්‍රදේශයේ එස්ටීඑෆ් සාමාජිකයන් සෝදි මෙහෙයුම් කළා. කන්ද මැද හරියේ යුද හමුදාව සෝදිසි මෙහෙයුම් කළා. අපි එදා හිටපු බුදු මැදුර තියෙන ගේ ගාව දම් පාට කමිසයක් ඇඳගත්තු තරුණයෙක් හිටියා. එයාගේ නම ශාන්ත කුමාර. සිද්දිය වෙච්ච දවසේ ගෙදරින් එලියට ඇවිත් තියෙන්නේ සිගරට්ටුවක් ගන්න. ඒ ඇවිත් විනාඩි තුනක් යන්න කලින් කන්ද නාය ගිහින්. එයාගේ ගෙදර අම්මයි තාත්තයි අක්කගේ දුවයි තුන්දෙනාම ආ ගිය අතක් නෑ. ගේ තිබුනු තැනක්වත් හොයා ගන්න නෑ. තැන අඳුන ගත්තේ එතැන තිබුණු සියඹලා ගසකින්. ඔහු තමන්ගේ ගේ තිබුණු පැත්ත දිහා බලාගෙන ඉන්නවා.
විද්‍යුත් මාධ්‍ය කිහිපයක් කැමරා අටවගෙන බලා ඉන්නවා. නායෑමට ලක්වූවන්ගේ ඥාතීන් කිහිප දෙනෙක්ම ඒ පැත්තට වෙලා බලාගෙන ඉන්නවා.

අර කියපු රූපවාහිනීවල උදවිය ඉන් පස්සේ වැඩ පටන් ගත්තා. මේ මිනිස්සු අඬවා හඬවා වොයිස් කට් ගත්තා. ඔවුන් ඇහුවේ මේ මින්සුන්ව අඩවන ප්‍රශ්න. එහෙම ප්‍රශ්න අහලා අඩද්දි වීඩියෝ කරනවා. අරනායකදි මං දැක්ක කැතම දර්ශනය තමයි ඒක.

ඉන් පස්සේ ආයෙත් අරනායක ගියා. බිගුන් අයියා එක්ක ගියේ. එදා වෙච්ච දේවල් ගැන බිගුන් අයියා එයාගේ බොරතෙල් බ්ලොග් එකේ ලියයි කියලා හිතනවා.

මම මේ ලිව්ව දේවල්වලින් වැඩියෙන්ම ඉස්මතු කරන්න උවමනා කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි බුදුපිළිම බේරිලා මිනිස්සු මැරිලා වැඩක් තියෙනවද කියන කාරණය. අනිත් එක තමයි ආපදාවක් වුණාම මීඩියා කරන රගපෑම ගැන. ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වගේ ඒ මිනිස්සු තවත් අසරණ කරන එක ගැන.
(අරනායක බලන්න ආපු මිනිස්සු ගැනයි අරනායක ආපදා කළමනාකරණය ගැනයි වෙනම ලියන්න බලාපොරොත්තු වෙනවා)



















Post a Comment

 
Top