ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමේ පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ, නිෂ්ෂංඛ සේනාධිපති ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත නවරත්න බණ්ඩාර මහතා නිර්දේශ කර වසරකට ආසන්නය.

පෙර සිටි නීතිපතිවරයා ඔවුන්ට නඩු පවරන්නේ නැතියි කියමින් ආණ්ඩුවේම ඇමැතිවරු කිහිප දෙනෙක් චෝදනා කළහ. එලෙස චෝදනා කළ නීතිපති විශ්‍රාම ගොස් දැන් මාස ගණනකි. නමුත් තවමත් ගෝඨා, සේනාධිපති ඇතුළු පිරිසට නඩු නැත.

එකල ඇවන්ගාඩ්ට එරෙහිව හඬ නැගූ ඇමැතිවරුන්ට ද දැන් ඇවන්ගාඩ් අමතක වී ඇත. ඔවුන් දැන් ඇවන්ගාඩ් ගැන කතා කරන්නේ නැත.
සීආර්යි/58/2015 අංකයෙන් තම වාර්තාව නීතිපතිට ඉදිරිපත්නි කළ යෝජ්‍ය සොලිස්ටර් ජනරාල් නවරත්න බණ්ඩාර මහතා කියනුයේ රක්නා ලංකා අවි ගබඩාව නීත්‍යනුකූල නැති බවයි.
අනවසරයෙන් ශ්‍රී ලංකාවට ගිනි අවි ගෙන්වීම, වලංගු බලපත්‍රයක් නැතිව උණ්ඩ ළඟ තබා ගැනීම සහ එම වැරදි සිදු කිරීමට  කුමන්ත්‍රණය කිරීම හා ආධාර අනුබල දීම යටතේ පස් දෙනකුට එරෙහිව නඩු පැවරිය හැකි බව එම වාර්තාවේ සඳහන්ය.
අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් වරයකු හමුවට ඉදිරිපත් කරන ලෙස රහස් පොලිසියට උපදෙස් දෙන්නැයි නීතිපතිට නිර්දේශ කර ඇති සැකකරුවන් වන්නේ ඇවන්ගාඩ් මැරටයිම් ආයතනයේ සභාපති නිස්සංක සේනාධිපති, එම ආයතනයේ අධ්‍යක්ෂ මංජුලකුමාර යාපා,  ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ, එම අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති  එම් එස් ජයරත්න සහ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ අධ්‍යක්ෂ මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු ය.
ඔවුනට එරෙහිව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත, ගිනි අවි ආඥාපනත සහ පුපුරණ ද්‍රව්‍ය ආඥා පනතින් චෝදනා එල්ල කළ හැකි බව එම වාර්තාවේ පැහැදිලිව දක්වා තිබේ. එසේම මුදල් විශුද්ධිකරණ පනත යටතේ ද නඩු දැමිය හැකි බව එහි සඳහන් ය.
එක් එක් පනතේ වගන්ති උපුටා දක්වමින් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා චෝදනා සනාථ කිරීමට කරුණු ඉදිරිපත් කර තිබේ.
ඇවන්ගාඩ් සමාගමට එරෙහිව අමි අමෝරා සිටි සිවිල් සංවිධාන නියෝජිතයන්ට ද දැන් ඇවන්ගාඩ් අමතකය.

Post a Comment

 
Top