දියතලාව කඳවුරේ දී ගෙලවැලලාගෙන මිය ගිය බවට යුද හමුදාවෙන් කියන ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ ආදි සිසුවකු වන ලහිරු රංජනගේ මරණය සැක සහිත බව ඔහුගේ ඥාතීන් පැවසීම නිසා වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

ලහිරු රංජන මීට මාස අටකට පෙර කැඩෙට් නිලධාරියකු ලෙස බැඳී පුහුණුවට ගොස් ඇති අතර ඔවුන්ගේ කණ්ඩායමේ මේ වන විට වැඩිම ලකුණු ලබා සිටියේ ද ලහිරුය. 
පවුලේ උදවිය කියනුයේ ගෙලවැලලා ගැනීමට තරම් ඔහුට බාහිර වෙනත් ප්‍රශ්නයක් නැති බවයි.

ඔහුගේ මරණය ගැන අධිකරණ වෛද්‍යවරයා ද ස්ථිර නිගමනයක් තවම ලබා දී නැති අතර සිරුරේ කොටස් රස පරීක්ෂක වෙත යවා තිබේ.

ඔහුගේ මරණය ගැන ප්‍රභලම සැකය මතු වන්නේ ගෙලවැලලාගෙන මිය යැමක දී මරණය සිදුවූ තැනට මහේස්ත්‍රාත් කැදවාගෙන ගොස් මරණ පරීක්ෂණය පැවැත්වීම වුවත්, මෙම සිද්ධියේ දී මහේස්ත්‍රාත් කැඳවාගෙන ගොස් ඇත්තේ රෝහලටය.
සිද්ධිය සැක සහිත තැන් දක්වමින් ෆේස්බුක්හි ඔහුගේ ඥාතියකු තැබූ සටහනක් පහතින් ඉදිරිපත් කරමි.

‘‘1. Batch Top වීම.(සියලු favourations පරදා)
2. අතිශය චතුර ඉංග්‍රීසි කථනය හා දැනුම.

3. මෑතකදී ජනාධිපතිතුමා සහභාගී වූ කැඩෙට් නිලධාරීන් විසිර යාමේ උලෙලේ නිවේදකයා වීම.

4. පුහුණු කදවුර තුල තිබූ සියලු ක්‍රියාකාරකම්වල ප්‍රමුඛ චරිතයක් වීම. (දැනුමෙන් හා හැකියාවෙන්)


පහත කරැණුද හැකිතාක් කෙටියෙන් ඔබේ අවධානයට ;

1. පුතු මිය ගියායැයි පවසන්නේ 22.07.2015(බදාදා) උදෑසන 06.30 පමණ වේ. අප හට සිරැර දැක ගැනීමට ලැබුනේ එදින දහවල් 12.30 ට පමණය. පශ්චාත් මරණ පරීක්ෂණ වාර්ථාවේ සාරාංශය (විවෘත තීන්දුවක්) අප හට ලැබුනේ 24.07.2015 රාත්‍රී 7 ට පමණය. එසේ තිබියදී මේ සිත් පිත් නැති නිලධාරීන් අප පුතු සියදිවි හානි කරගෙන බවට ඒකපාර්ශවිකව කඩිමුඩියේ මාධ්‍යයට ප්‍රකාශ කර ජනමතය එලෙස සකස් කලේය. මෙලෙස මේ සිත් පිත් නැති නිලධාරීන් උන්ගේ අධම ක්‍රියාව වසා ගැනීමට මාධ්‍ය යොදා උත්සහ කලේ අප විසින් අප පුතුගේ සිරුර ඇති ස්ථානයට පැමිණීම ආරම්භ කිරීමටත් ප්‍රථමවය. මේ කඩිමුඩිය කුමක් නිසාද??? අන් කිසිවක් නිසා නොව සුපුරැදු ලෙසම වරද දරුවන් වෙත පවරා මුන් නිදොස් වීමේ කාලකන්නි ප්‍රතිපත්තියයි. අප එහි ළගාවනවිටත් මහේස්ත්‍රාත් පරීක්ෂණයද අපගේ සහභාගීත්වයෙන් තොරව අවසන් කර තිබුනි.

2. දරුවා මිය ගියේ පෙරදින රාත්‍රී 8 සහ උදෑසන 5.30 අතර බව කෙනෙකු පවසන අතර මරණ පරීක්ෂණයේදී එය එදින උදෑසන 6.15-6.30 අතර සිදුවූ බව පවසයි. නමුත් උදෑසන 5.50 ට ඔහු පණපිටින් දුටු බව පවසන්නන්ද සිටිති. මෙය ඉතා දරැණු පරස්පරයකි.


3. ගෙල වැළලා සිටි යැයි කියන ස්ථානයේ සියලු සාක්ෂි විනාශ කර ඇත. ඕනෑම සිගිත්තෙක් ගෙල වැළලා මිය ගිය කෙනෙකුගේ සිරුර ඉන් බා නොගැනම මහේස්ත්‍රාත්වරයාට යොමු කල යුතු බව දන්නා නමුත් මෙම සිත් පිත් නැති නිලධාරීන් සිරැර බා රෝහලට ගෙන ගොස් ඇත. කිසිදු ඡායාරෑපයක්ද නැත. අපරාධ ස්ථානය පටි මගින් ආවරණය කරද නැත. ඒ නිසා සියල්ලන්ටම මේ සිත් පිත් නැති නිලධාරීන්ගේ අසත්‍ය ප්‍රකාශ මත පදනම්ව කටයුතු කිරීමට සිදුව ඇත.


4. මුලින්ම සිරැර බෑවේ එහි එක් පුහුණුවන්නෙකු බව කී අතර පසුව තිදෙනෙකු එක් වී සිරුර බෑ බව පවසයි.


5. එල්ලීමට භාවිතා කලා යැයි කියන බෙඩ්ෂීට් එක කැපූ උපකරණය ගැන නොකියයි. කදවුර තුල පිහි භාවිතය පුහුණුවන්නන්ට තහනම්ය.


6. එල්ලීමට භාවිතා කලා යැයි කියන ප්‍රධාන උපකරණය වන කැඩුණු පුටුව කිසිවෙකුට සොයා ගැනීමටත් නැත.


7. පුතුට නේවාසික කාමරයක් (තනිව භාවිතා කරන) ඇති නමුත් සිය දිවි හානි කර ගැනීමට පොදු වැසිකිළියක් ආශ්‍රිත ස්ථානයක් භාවිතා කිරීම ඉතා ප්‍රශ්නකාරීය.


8. බාල්කයේ උස ඊට පහල ටැංකියේ උස ගැන සැලකීමේදී එල්ලී මැරීමට සුදුසු උසක් සපයයි යැයි කීම අසීරැය.


9. ඥාතීන් ලෙස අපට මිය ගිය ස්ථානය පෙන්වීම මුල් දිනයේ ප්‍රතික්ෂේප කළ අතර සාක්ෂි විනාශ කර පසුදින ශෝකයෙන් වික්ෂිප්තව සිටි පියාට සහ සහෝදරයාට පමණක් පෙන්වන ලදී.


10. තවද මුලින්ම සිරැර දැක ගැනීමට දියතලාව හමුදා රෝහලට පැමිණි විට සමහර සිත් පිත් නැති නිලධාරීන් දරුවාගේ පියා (විශ්‍රාමික ආබාධිත රණවිරැවෙකු) මෙය සාමාන්‍ය දෙයකැයි පවසමින් ඔහුගේ හමුදා පාක්ෂික බව ඔවුන්ගේ වාසියට පාවිච්චි කිරීමට නිර්දය ලෙස උත්සහ කලේය. එය ව්‍යවර්ථ වූ තැන දුකින් මිරිකී සිටි අප සමග ගැටුමකට සූදානම් විය.


11. ඔබ අප සියල්ලෝම නවක වදය ගැන අසා ඇත.මේ මොහොත වන විට දියතලාව වධකාගාරය ගැන අප දන්නා කරැණු අතිශය පිළකුලයි. ඒ ගැන වෙනමම ඔබ සැම දැනුවත් කරමු. මේ කෘර වධහිංසා වල උච්චතම ගොදුර අපේ පුත්‍රයා වීම අප පෙර භව වල කල ඉමහත් පවකි.

12. ශරීරයේ සෑම ස්ථානයකම ඇති තුවාල හා තැලුම් මේ සිත් පිත් නැති නිලධාරීන් කියන ගෙල වැලලා ගැනීමට කෙසේ සම්බන්ධ වේද? විශේෂයෙන් හිසෙහි සහ තට්ටම් ප්‍රදේශ වල ඇති අධික පහර කෑ ලක්ෂණ මාගේ පුතු විදි මිලේඡ වධහිංසා ගැන අප මිය යන තුරා අපව නැවත නැවතත් ප්‍රකම්පණය කරවයි.


13. මරණ පරීක්ෂණය නිසියාකාරව පැවැත්වීමට(විශේෂයෙන් විනිවිද භාවයට) දියතලාව හමුදා පුහුණු කදවුර කල බාධා ගැන වෙනමම ඔබ සැම දැනුවත් කරමු.


14. පුතුගේ පුද්ගලික laptop පරිගණකය අපට ලබා ගැනීමට වූයේ ඉමහත් පරිශ්‍රමයකින් දින දෙකකට පසුවය. එහි දත්ත සියල්ලක්ම විනාශ කිරීමට ඔවුන් තැත් කලද Computer Genious කෙනෙකු වන අප පුතු එතුල ගබඩා කල සියලු දත්ත විනාශ කල නොහැකිව ඇත.ඉදිරි ක්‍රියාමාර්ග වලට එම හෙලිදරව් බාධා වන නිසා පසුවට ඒ ගැන ඔබ දැනුවත් කරමි.


මා පුතු විනාශ කල සිත් පිත් නැති නිලධාරීනි, 

නුඹලාගේ කෘරත්වය හෙලි කිරීමට හැකි බලවත් සාක්ෂි අප පුතු ඉතිරි කර ගොසිනි. කණගාටුව ඔහු අප දැනුවත් නොකිරීමයි. එසේ වුවා නම් නිර්භීත අප පුතු තාමත් ජීවතුන් අතරයි. 
කාලය හා දැවෙන හැගීම් ඔබ තවදුරටත් දැනුවත් කිරීමට බාධා පමුණුවයි. හිත යම්තරමකට හෝ සැනසුන විට මේ කෘරත්වය (මෙහි තුල සිට දිවි ගලවාගෙන පැමිණි දරැවන් පවසන පරිදි දකුණු ආසියාවේ මස් කඩය යැයි විරැදාවලි ලැබූ දියතලාව යුධ හමුදා පුහුණු කදවුර) ගැන සහ මගේ දරැවාට මුන් සිදුකල මිලේඡ වධහිංසා ගැන ඔබ දැනුවත් කරමි.
එහි අරමුණ පළිගැනීම යැයි කෙනෙකු අර්ථ දැක්විය හැක. සැබෑ අරමුණ එය නොවේ. මෙවැනි දරැණු ඉරණමකට කිසිවෙකු පත් නොවීමටත් කිසිදු මවක් මෙවැනි දුකකට පත් නොවීමත් උදෙසායි.
අප පුතු මින් යලි නොනැගිටින මුත් ඔහුට සාධාරණයත් මෙම සමාජය තුල ඇතිවීම අපගේ ඉතිරි වී ඇති එකම පැතුමයි.
මේ සදහා පෙළ ගැසෙන්න. නොඑසේනම් මෙම මිලේඡ මානසිකත්වයේ ඊළග ගොදුර ඔබේ පුතු විය හැක.‘‘



Post a Comment

 
Top