කුමාර් ගුණරත්නම් යනු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයෙකි. ඔහුගේ වර්තමානය එය වුවත් ඔහුට දීර්ඝ දේශපාලන ඉතිහාසයක් තිබේ. කාලයක් ජනතා විමුක්ති පෙරමුණේ හොඳ සටන් කාමියෙක් ද විය. වීසා කාලය ඉක්මවා ලංකාවේ රැඳී සිටියේයැයි සැකපිට කුමාර් අත්අඩංගුවට ගත්තේ 2015 නොවැම්බර හතර වැනිදා අඟුරුවාවැල්ලේ නිවසේදීය. එතැන සිට ඔහු පසුවූයේ රිමාන්ඩ් බාරයේය.


කුමාර් අත්අඩංගුවට පත්වූයේ ද එච්එන්ඩීඒ සිදුවීමෙන් දින කිහිපයකට පසුය. එච්එන්ඩීඒ විරෝධතාවයට පළි ගැනීමක් ලෙස කුමාර් අත්අඩංගුවට ගත්තාය යන්න බහුතරයකගේ මතය විය.

කුමාර්ට එරෙහිව කෑගල්ල උසාවියේ පැවැති නඩු විභාගයේ දී එක් දෙයක් අනාවරණය විය. ඒ කුමාර් වීසා කාලය දික් කරන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇතත් ඔහුගේ වීසා කාලය දික් කර නැත්තේ කුමාර් දේශපාලනය කරන කෙනකු බවට නීතිය හා සාමය අමාත්‍යංශ ලේකම් දුන් දැනුම්දීම අනුව බවයි. 

එසේම වීසා කාලය දිගු කිරීමට ඉල්ලා එය ප්‍රතික්සේප කළහොත් ඒ බව දැනුම් දීම සිරිතක් වුවද කුමාර්ට දැනුම් නුදුන් බව ද පැමිණිල්ලේ සාක්කිවලින් හරස් ප්‍රශ්න ඇසිමේදී අනාවරණය විය.
එසේනම් එකක් පැහැදිලිය. කුමාර් හිර කරන්නේ ඔහු දේශපාලනය කරන නිසා බව ඔවුන්ම පැහැදිලි කර තිබේ.

පෙරටුගාමීන්ගේ දේශපාලනය ගැන විවේචන තියෙන්නට පුළුවන. පෙරටුගාමීන් මහින්දලා සමග ඩීල් දැමුවායැයි චෝදනා කරන්නටද පුළුවන. ඒ කිසිවකින් කුමාර්ගේ දේශපාලන අයිතිය නැති කිරීම සාධාරනීකරණය කළ නොහැකිය.

යහපාලන වටපිටාවක එජාපයට, ශ්‍රීලනිපයට මෙන්ම සෙසු ඕනෑම පිරිසකට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ දේශපාලනය කිරීමේ අයිතිය හිමිය. එය එල්ටීටීඊද, පෙරටුගාමීද එසේත් නැතිනම් වෙනත් පිරිසක්ද යැයි වෙනස්කමක් තිබිය නොහැකිය.

යහපාලනය ගැන මතුරමින් බලයට ආ ආණ්ඩුව කුමන හේතුවක් මත හෝ කුමාර් ගුණරත්නම්ට දේශපාලන අයිතිය අහිමි කිරීම අනුමත කළ නොහැකිය. කුමාර්ට ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ දේශපාලනය කිරීමට අයිතිය ලබා දෙන ලෙස සියලු සිවිල් සංවිධාන සහ පුරවැසියන් එජාප-ශ්‍රීලනිප හවුල් ආණ්ඩුවට බල කළ යුතුය. 

ආණ්ඩුව පත්වී වසරක් යන්නටත් මත්තෙන් කුමාර්ගේ දේශපාලන අයිතිය අහෝසි කරන්නේ නම් තවත් නිශ්ෂබ්දව සිටියහොත් කල් යද්දී මොනවා කරාවිදැයි සිතා බැලිය යුතුය.

Post a Comment

 
Top