දුම්රිය සේවකයන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් අතරතුර දී පොලිසියෙන් පහර කෑ අහිංසක මගියකු ලේ පෙරාගෙන සිටින අයුරු දැක්වෙන වීඩියෝ 2014 අප්‍රේල් 22 වැනි දා බොහෝ රූපවාහිනී නාලිකාවල ප්‍රචාරය විය. පසුදින පුවත්පත්වල ද එය පළ විය.

එම මගියා පෞද්ගලික ආයතනයක පරිපාලන කලමනාකරුවෙකි. නමින් දුමින්ද හපුආරච්චිය. පදිංචිය ගම්පහ ඔරුතොටය.
දුමින්ද හපුආරච්චිට පහරදීමේ සිද්ධිය වාර්තා වූයේ රාජපක්ෂ පාලනය මගින් නිල නොවන පොලිස්පති ලෙස කටයුතු කළ අනුර සේනානායක හරහා පොලිස් දෙපාර්තමේන්තුව ලවා විසිල් ජනයා පාගාගෙන සිටින වකවානුවකය.
මර්දනය හමුවේ සියලු දෙනා ඔළුව පහත් කරගෙන සිටින වකවානුවක දුමින්ද සහෝදරයා කිසිදු දේශපාලන හයියක් නැතිව නිර්භීතව අයිතිවාසිකම් වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ කළ හැකි උපරිමය කළේය.
ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ජනාධිපතිවරණයට ඔන්න මෙන්න කියා තිබිය දී නිශ්ප්‍රභ කරනු ලැබුවේ හේතු දැක්වීමකින් ද තොරවය. (මොහාන් පීරිස්ගේ යුගයේ)


එහෙත් ඔහු සැලුනේ නැත.
දිසා අධිකරණයේ ගොනු කළ නඩුව දිගින් ගිටම විභාග විය. එහි තීන්දුව අද ප්‍රකාශයට පත් විය.
තීන්දුව වූයේ දුම්න්දට වූ අගතිය වෙනුවෙන් රුපියල් පනස් දහසක වන්දියක් පිරි නමන ලෙස පොලිස්පතිට හා නීතිපතිට නියෝග කිරීමය. මේ පහර දීම ගැන පොලිස්පතිගේ හා නීතිපතිගේ වගකීමක් ඇතැයි මේ නඩු තීන්දුවත් සමග තහවුරු විය.
දුමින්ද හපුආරච්චි සහෝදරයා මුල සිටම කීවේ තමන්ට වන්දි මුදල් අවශ්‍ය නොවන බවයි. ඔහුගේ මතය වූයේ තමාට වූ අසාධාරණයට සාධාරණය ඉට කර ගැනීම පමණක් ම නොවේ. තවත් මෙවැනි අසාධාරණකම් නොවෙන තැනට තල්ලුවක් ලබා දීමය. සමාජයට පණිවුඩයක් ලබා දීමය.
කෙසේ වෙතත් අවසානයේ ඔහුට සාධාරණය ඉෂ්ඨ විය. වන්දි මුදල මදි යැයි බොහෝ දෙනෙක් කීවත් මේ නඩු තීන්දුව මුදලින් මැනිය නොහැකිය. දුමින්ද සහෝදයාගේ උත්සාහය ද මුදලින් මැනිය නොහැකිය. දුමින්ද සහෝදරයා රුපියල් සතවලට සටන් කරන අයකු නොව රුපියල් සත වියදම් කර සාධාරණය වෙනුවෙන් සටන් කරන අයකු බව පසුගිය වක වානුවේ අපට ගම්‍ය කළේය.
තමාට වූ අසාධාරණයට පමණක් නොව තවත් සිවිල් පුරවැසියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඔහු ඉදිරියට ආ පුද්ගලයකු බව දන්නේ කිහිප දෙනෙකි.

කොටදෙනියාව අකරන්ගහ සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිටයැයි කියමින් පාසල් සිසුවකු සහ එක්දරු පියකු නීති විරෝධීව අත්අඩංගුවට ගෙන රඳවා තබාගනිමින් පහර දීමේ සිද්ධියේ දී ද දුමින්ද හපුආරච්චි සහෝදරයා ඒ පාසල් සිසුවා සහ එක්දරු පියා වෙනුවෙන් බොහෝ දෑ කළේය.
ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් තමන්ගේ කාලය, ශ්‍රමය පමණක් නොවන ධනය ද කැප කර  විශාල වැඩකොටසක් කළ බව දන්නේ කිහිප දෙනකු පමණි. එය ප්‍රසිද්ධ වුයේ නැත. එය ප්‍රසිද්ධ කළේ ද නැත.  ඒ ගැන මෙහි සටහන් කරනවාට දුමින්ද සහෝදරයා අකමැති බව ද මම දනිමි. ඇතැම් විට දුමින්ද සහෝදරයා නොසිටින්නට පාසල් සිසුවා වෙනුවෙන් නොමිලයේ කතා කරන නීතීඥවරුන් හමු නොවන්නටත්, සිසුවා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු නොවැටෙන්නටත් ඉඩ තිබිණි. එපමණක් නොව දුමින්ද සහෝදරයා නොසිටින්නට එම සිසුවාගේ අධ්‍යාපනය ද එතැනින්ම නවතින්නට ද ඉඩ තිබිණි.
එලෙසින් බැලූ කළ දුමින්ද හපුආරච්චි යනු සැබෑ මනුශ්‍යයෙකි. සැබෑ වීරයෙකි.සැබෑ සටන්කරුවෙකි.
අද ලැබූ ජයග්‍රහණය ගැන දුමින්ද අයියාට ඉත සිතින් සුබ පතමු.

(තරිඳු ජයවර්ධන)







Post a Comment

 
Top