‘‘කඳුළු ගෑස් .. ජල ප්‍රහාර..
බැටන් පොලු පහරට.. වෙඩි උණ්ඩයට..
බිය වූවානම්,
මේ සටන් නැවතී
නිදහස් අධ්‍යාපනය
මියැදී හුඟක් කල්....‘‘

මේ නිසදැස ලියා තිබුණේ රුහුණ විශ්ව විද්‍යාලයයේ පළමු වසර සිසුවකුව සිටි  මෝදර පදිංචි සිසිත ප්‍රියංකර සිල්වාගේ නිවසේ බිත්තියකය.   සිසිත සහ කැලණිය විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති වූ ජනක බණ්ඩාර ඒකනායක ගම්පහ ඉඹුල්ගොඩ දී මිය ගියේ මීට වසර තුනකට පෙරය.
ඒ සම්බන්ධයෙන් මීට පෙර දීර්ග ලිපියක් පළ කළ අතර එම සිද්ධිය නැවතත් කතාබහට ලක්වී ඇති නිසා මෙම ලිපිය ලියැවෙයි.

ලංකාවේ මෑතක දී රිය අනතුරකට ලඝු කැරුණු ආන්දෝලනාත්මක සිද්ධි දෙකක් වාර්තා විය. එකක් රගර් ක්‍රීඩක තාජුදීන්ගේ මරණයයි. අනික නම් අන්තරේ සිසුන් දෙදෙනාගේ මරණයයි. තාජුදීන්ගේ මරණය රිය අනතුරක් නොව සැලසුම් සහගත මිනී මැරුමක් බවට සාක්කි රැසක් හමු විය.   අන්තරේ සිසුන් දෙදෙනාගේ මරණය ද ඝාතනයක් බවට අන්තරය දිගින් දිගටම කියද්දී මුනිවත රැකගෙන සිටි පොලිසිය  පසුගිය සතියේ එහි විමර්ශන රහස් පොලිසියට බාර දුන්නේය.


2012 සැප්තැම්බරයේ ය.  ඒ දිනවල සමාජයේ වැඩි කතා බහකට ලක්වූ සහ ප්‍රවෘත්ති මැවූ මාතෘකාව වූයේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනයයි.  වැටුප් වැඩිකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පැවැති වර්ජනයට සෙසු සමාජ සංවිධානවල සහාය ද ලැබුණු අතර ඔවුහු ගාල්ලේ සිට කොළඹට පාගමනක් ඇරැඹූහ. සැප්තැම්බර 24 වැනිදා ඇරැඹූ පාගමන 28 වැනිදා දහවල් වන විට කොළඹට ළඟා වීමට සැලැසුම් කර තිබිණි.

විශ්ව විද්‍යාල ආචාර්ය වරුනට සහාය පළ කරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරීන් ද පාගමනක් සංවිධානය කළේ පේරාදෙනියේ සිට කොළඹටය. සැප්තැම්බර 24 දින ඇරැඹි පාගමන අධියර කිහිපයක් ඔස්සේ ගමන් කළේ 28 වැනිදා කොළඹට පැමිණ ආචාර්යවරුන්ගේ රැලියට එක් වීමටය.
සැප්තැම්බර 26 වැනි දා  එම පෙළපාලිය නිට්ටඹුව දක්වා ගමන් කර තිබූ අතර 27 වැනි දාට නියමිතව තිබුණේ කැලණිය දක්වා ගමන් කිරීමය.


කැලණිය සරසවියේ අවසන් වසර ශිෂ්‍ය ජානක බණ්ඩාර ඒකනායක සහ රුහුණු සරසවියේ පළමු වසර ශිෂ්‍ය සිසිත ප්‍රියංකර සිල්වා ද එම පෙළපාලියේ මුල් පෙලේ සංවිධායකයෝ වූහ.

මාතලේ කඹරව පදිංචි ජානක බණ්ඩාර ඒකනායක කැලණිය සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ලෙස ද කටයුතු කර තිබූ අතර කා අතරත් ඔහු ප්‍රසිද්ධව සිටියේ ‘මාතලං‘ යන නමිනි.

විශ්ව විද්‍යාලයට පැමණ කෙටි කලක් වුවත් මෝදර පදිංචි සිසිත ප්‍රියංකර ප්‍රියංකර සිල්වා ද කැපීපෙනන චරිතයක් වූයේ විශ්ව විද්‍යාල සිසුන්ගේ සටන් වලදී පෙරමුණ ගෙන ක්‍රියා කිරීම නිසාය. රුහුණු සරසවියේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ සිටි ඔහු ‘ටොක්කා‘ යන නමින් මිතුරන් අතර ප්‍රසිද්ධව සිටියේය.

ආචාර්යවරුනට සහාය පළ කරන පෙළපාලියේ සංවිධාකයන් වූ ඒ දෙදෙනා ද ප්‍රධාන සංවිධායකයන් සමග සැප්තැම්බර 27 වැනිදා අලුයම ගම්පහ බණ්ඩාරවත්තේ නවාතැම්පොළට නැවති සිටියහ. ඔවුන් අලුයම දෙකට තුනට පමණ පිටව ගියේ  මුද්‍රණයට දී තිබූ අත්ප්‍රිකාවගයක් ගෙන ඒමට දෙල්කඳට යාම සඳහාය.

දෙල්කඳට ගිය මිතුරන්ගෙන් තොරතුරක් නැති තැන සෙසු සගයෝ පාන්දර පහට පමණ දුරකන ඇමතුම් දුන්නත් ඉන් ප්‍රතිචාරයක් නොලැබිණි. තම සගයන් දෙදෙනා අනතුරකින් මිය ගිය බව ඔවුනට ආරංචි වූයේ උදෑසන හතට අටට පමණය.

අනතුර සිදු වූ දින සවස අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරිහු මාධ්‍ය හමුවක් කැදවූ අතර මෙය සාමාන්‍ය රිය අනතුරක් නොව හිතා මතා සැලසුම් සහගතව කළ අනතුරක් බවට චෝදනා කළහ.

පසුදින උදෑසන 9.30 සිට 2.00 දක්වා ගම්පහ රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැති අතර විශේෂඥ අධිකරණ වෛද්‍ය එස් පී ඒ හේවගේ මහතා නිගමනය කළේ   අනතුරක් නිසා හිසට සිදුවූ තුවාල හේතුවෙන් දෙදෙනාගේ මරණය සිදුව ඇති බවයි.
ඩී එම් නීල් කුමාර ඒකනායක සහ ධම්මික බණ්ඩාර ඒකනායක මහත්වරු රෝහලට පැමණ ජානකගේ දේහය භාර ගත් අතර ධම්මිකා ප්‍රියදර්ශනී මහත්මිය සිසිතගේ දේහය භාර ගත්තාය.
 

අනතුර සැක සහිත බවට පොලිසියට පැමිණිලි ලැබුණු අතර ගම්පහ හිටපු මහේස්ත්‍රාත් (මේ වන විට අනුරාධපුර ළමා හා ත්‍රස්ත ක්‍රියා පිළිබඳ   විශේෂ අධිකරණයේ මහාධිකරණ විනිසුරු) ඛේමා ස්වර්ණාධිපති මහත්මිය ඉදිරියේ මරණය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය ඇරැඹිණි. එම මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී අට දෙනෙත් සාක්කි ඉදිරිපත් කළහ.

මියගිය සිසිත ප්‍රියංකර සිල්වාගේ නැන්දා බව කියන ධම්මිකා ප්‍රියදර්ශනී මහත්මිය ඇතුළු කිහිප දෙනෙක් සිද්ධිය වූ දින හිටපු මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ සාක්කි ලබා දී තිබුණු අතර ඔක්තෝබර තුන් වැනිදා නඩුව කැඳවූ අවස්ථාවේ දෙදෙනෙක් විවෘත අධිකරණයේ සාක්කි ලබා දුන්හ.

කැලණිය විශ්ව විද්‍යාලයයේ සේවකයකු වන නිට්ටඹුවේ පදිංචි නෝමන් ජයතිස්ස (54) මහතා සාක්කි දෙමින් පැවුසවේ සිද්ධිය වූ දින ඉඹුලගොඩ හන්දියේ මල් ශාලාවක හර්ස් එකක් නතර කර තිබෙනු දුටු බවයි.

කැළණිය සරසවියේ අධ්‍යාපන ලැබූ කොළඹ කොච්චිකඩේ පදිංචි නිලාන් ප්‍රියදර්ශන ප්‍රණාන්දු (31) මහතා සාක්කි දෙමින් පැවසුවේ අනතුර සිදුවූ ස්ථානයට ආ පුද්ගලයකු තමා සිද්ධිය දුටු බව පැවසූ බවයි. යතුරු පැදිය හරස් කර වාහනයක් දමනු දුටු බව ඒ පුද්ගලයා කීවේයැයි නිලාන් කීවේය.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු වැඩබලන කැදවුම්කරු චින්තක රාජපක්ෂ (25) මහතා සාක්කි දෙමින් පැවසුවේ අනතුරට පත් යතුරුපැදියෙන් ඊට පැය ගණනට පෙර යක්කල හන්දියට ගිය තමාව යතුරු පැදිකරුවකු විස්න් ලුහු බැඳ ආ බවයි.

මියගිය දෙදෙනා අන්තරයේ ඉදිරියෙන්ම වැඩ කළ සාමාජිකයන් බවත්, තම සාමාජිකයන්ට දිගටම තර්ජන ආ බවත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ එවකට කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා සාක්කි දෙමින් පැවසීය.

රිය අනතුරකින් මිය ගිය විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනාගේ මරණය ගැන සැකයක් පවතින්නේ යැයි ද, යතුරු පැදිය හැප්පුනැයි කියන විදුලි කණුවේ හානි සිදුවී ඇති ස්ථානයත්, යතුරු පැදියේ හානි සිදුවූ ස්ථානයත් අතර ගැටළු සහගත බවක් ඇතැයි ද, ඒ සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක් කැඳවිය යුතු යැයි ද, මියගිය තරුණයකු භාවිත කළ ජංගම දුරකතනය මෙතෙක් හමුවී නැතැයි අගතියට පත් වර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රජිකා සිල්වා මහත්මිය අධිකරණයට දැන්වූ අතර එම ඉල්ලීම පිළිගත් හිටපු මහේස්ත්‍රාත්වරිය අනතුර සිදුවූ බව කියන ආකාර ප්‍රතිනිරූපනය (රිකන්ස්ට්‍රක්ෂන්) කර රස පරීක්ෂණ වාර්තා කැදවන ලෙස නියෝග කළාය.

මහේස්ත්‍රාත්වරියගේ නියෝගය අනුව ඔක්තෝබර අට වැනිදා ඉඹුල්ගොඩට ගිය රජයේ රස පරීක්ෂක පැය එකහමාරක පමණ කාලයක් එම ස්ථානය පරීක්ෂා කළේය. යතුරුපැදිය ඉඹුල්ගොඩට නොගෙනේම ගැන හා මහේස්ත්‍රාත් නියෝගය අනුව රීකන්ස්ට්‍රක්ෂන් එකකට නොයෑම ගැන   නීතීඥවරුන් විරෝධය පළ කළ අතර රස පරීක්ෂක පැවසුවේ තමා වැරැල්ලවත්ත පොලිස් මුර පොලේදී යතුරු පැදිය පරීක්ෂා කළ බවයි.

ඒ ගැන නීතීඥ රාජිකා සිල්වා මහත්මිය අධිකරණයේ දීර්ඝ ලෙස කරුණු දැක්වූ අතර අනතුර ගැන සැකයක් පැණ නැගී ඇති අවස්ථාව එලෙස කටයුතු කිරීම මගින් සැකයට තවත් වැඩි වන බව ඇය පැවසුවාය.
‘මම රිකන්ස්ට්‍රක්ෂන් එකකට යන්නයිනේ කිව්වේ. ඇයි බයිසිකලය එතනට නොගෙනාවේ?‘ යනුවෙන් හිටපු මහේස්ත්‍රාත් ඛේමා ස්වර්ණාධිපති මහත්මිය පොලිසියෙන් විමසූ අතර එම අවස්ථාවේ ගම්පහ පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් ප්‍රියන්ත මහතා පැවසුවේ බයිසිකලය එම ස්ථානයට ගෙන ඒම අවශ්‍ය නොවන බව රසපරීක්ෂක පැවසූ බවයි.

මිය ගිය ජානක ඒකනායක සිසුවා භාවිත කළ බව කියන මෙතෙක් හමු නොවූ දුරකතනයේ අංක සම්බන්ධයෙන් වාර්තා කැදවන ලෙස ද මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළාය.

දුරකතන සේවා සමාගමක් වාර්තාවක් ඉදිරිපත් කරමින් කීවේ එම අංකයට ඇමතුම් ලැබී හෝ එයින් ඇමතුම් ගෙන හෝ නැති බවයි.  ඊට පසු නඩු දිනයේ අන්තරේ කිහිප දෙනෙක් පෞද්ගලිකව තමන්ගේ දුරකතන වාර්තා ගෙන අධිකරණයට පෙන්වුයේ තමන්ගේ අංකවලින් ඇමතුම් ගත් බව තමන්ගේ වාර්තාවල සටහන් වෙද්දී මිය ගිය සිසුවාගේ දුරකතන වාර්තාවල එසේ නැතැයි කීම ගැටළු සහගත බවයි.

බොරු වාර්තා ලබා දීම සම්බන්ධයෙන් නීතිමය පයවර ගන්නා ලෙස මහේස්ත්‍රාත් පොලිසියට දැනුම් දුන්නේය.

මේ අතර ආණ්ඩු මාරුවත් සමග ජනක හා සිසිතගේ මරණය සම්බන්ධයෙන් නැවත කාරළියට ආවේය. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු නජිත් ඉන්දික මහතා මේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය වසරේ රහස් පොලිසියට පැමිණිලි කරමින් කීවේ රහස් පොලිසිය මගින් විමර්ශන සිදු කරන ලෙසයි.

එම ඉල්ලීම කර මාස ගණනකට පසු පොලිස්පති පසුගිය සතියේ එහි විමර්ශන රහස් පොලිසියට බාර දුන්නේය..

ඉදිරියේදි හරි විමර්ශනයක් කළහොත් වැළලී යන්නට තිබූ තවත් අපරාධයක තොරුතරු හෙළි වනු ඇත.

විශේෂත්වය පොලිස්පතිට ඇස් ඇරීමට වසර තුනක් ගත වීමය.











Post a Comment

 
Top