වව්නියාව දිස්ත්‍රික්කයෙන් මුලතිව් රක්ෂිතයට සම්බන්ධ වන්නට තිබූ කැලෑව රක්ෂිතයක් බවට පත් කරනු ලැබුවේ එකදාස් නවසිය තිස් ගණන් වල මුල භාගයේ ය. එවකට රටේ යුද්ධයක් පැවතියේ නැත.
2009 යුද්ධය අවසන් වීමෙන් පසු එවකට පැවති ආණ්ඩුව උතුරු වසන්තය නමින් ව්‍යාපෘතියක් ආරම්භ කළේය. එම ව්‍යාපෘතිය යටතේ පෙර කී රක්ෂිතය හෙළි කළේ එම ඉඩම් රක්ෂිත ගැසට් පත්‍රයෙන් මුදා හැරීමකින් තොරවය. ඒ සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසරයක් හෝ ලබා ගත්තේ නැත.
රක්ෂිතය හෙළි කළ ගම්මාන කිහිපයක් ඉදි කළේය. නන්දිමිත්‍රගම, සැලළිහිනිගම, නාමල්ගම, බෝගස්වැව 01 සහ බෝලස්වැව 02 එම ගම්මාන පහය. මෙම ගම්මාන අතුරින් නන්දිමිත්‍රගම හොඳ නිවාස ඉදි කළ අතර අනෙක් ගම්මානවල දැනටත් බහුතරයක් ඇත්තේ කටුමැටි ගෑ පැල්පත්ය. ඔවුනට පහසුකමක් ලෙස ලබා දුන්නේ විදුලිය පමණි.
ගම්මානවල පදිංචි කරනු ලැබුවේ දකුණේ පිරිස්ය. (ගම්පහ, කුරුණෑගල, රත්නපුර ආදී ප්‍රදේශවල පිරිස්ද වෙති)
ඉඩම් කට්ටියක් ලබා ගැනීමට ඔවුන්ට ඕනෑ විය යුතු එකම සුදුසුකම වූයේ ඒ වන විට සිටි ප්‍රදේශයේ ඡන්ද හිමි නාමලේඛණයෙන් නම ඉවත් කර ගැනීම පමණි. ඡන්ද හිමි නාමලේඛණයෙන් නම ඉවත් කර ගන්නා ඕනෑම කෙනකුට වව්නියාවේ බෝගස්වැව ඇතුළු ප්‍රදේශවලින් ඉඩම් දීමට එවකට පැවති රජයට කටයුතු කළේය. වරක් මාධ්‍යවේදීන් පිරිසක් උතුරේ සංචාරයකට එක්කාගෙන ගිය අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මාධ්‍යවේදීන්ට ද එම යෝජනාව කර තිබිණි.
2011 වසරේ මේ ගම්මාන පිහිටුවා ජනතාව පදිංචි කිරීම ආරම්භ කළේය. ඒ වන විට වව්නියාව දිසාපතිව සිටි බන්දුල මහතාට ඉහළින් මෙම ව්‍යාපෘති බාරව කටයුතු කළේ යුද හමුදා ලොක්කන්ය. ඒ අතර බොනිෆස්ට් පෙරේරා මුලින්ම සිටී.
රක්ෂිතය විනාස වනු බලා සිටිය නොහැකි තැන වන සංරක්ෂණ නිලධාරීන් තීරණයක් ගත්තේය. ඒ ගම්වාසීන්ගේ ආරක්ෂාවට බව කියමින් අලි වැටක් ඉදි කිරීමය. අලි වැට ඉදි කිරීමේ සැබෑ අරමුණ වූයේ ගම්මුන් ආරක්ෂා කිරීම නොව රක්ෂිතය ආරක්ෂා කිරීමය. කැලෑව තවදුරටත් විනාශ වීම මදක් හෝ අඩු වූයේ ඒ අලි වැට නිසාය.
නන්දිමිත්‍රගම ඓතිහාසික දෑ ඇතැයි මතයක් තිබේ. එම ඓතිහාසික දෑ ගම්මාන ඉදි කරද්දී විනාශ කළ බව තවත් පිරිසක් කියති. යුද්ධයට පෙර නන්දිමිත්‍රගම පවුල් කිහිපයක් පදිංචිව සිටියහ. නමුත් බෝගස්වැව එසේ නැත.
වව්නියාව නගරයේ සිට ත්‍රිකුණාමලය පාරේ කිලෝමීටර දෙක හමාරක් ගොස් මාමඩුව හංදියෙන් වමට හැරී (903/1 බස් මාර්ගය) කිලෝමීටර 40ක් පමණ ගිය විට බෝගස්වැව ගම්මානය හමුවේ. මීට වසරකට පහකට පම පෙර ගන වනාන්තරයක්ව පැවැති මෙම ප්‍රදේශය හෙළි පෙහෙළි කර 2011 දී ජනාවාස ඉදි කිරීම ඇරැඹිණි.
උතුරු පළාතේ වව්නියාව දිස්ත්‍රික්කයේ වව්නියාව දකුණ (සිංහල) ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ පාලනය යටතේ ඇති බෝගස්වැව ගම්මානය අයත් වන්නේ සී213සී පිරප්පම්මඩුව් ග්‍රාම සේවා වසමටය. ගම්මාන පහ වෙන වෙනම ග්‍රාමසේවා වසම්වලට තවමත් වෙන් කර නැත.
රාජපක්ෂ රජය සමයේ 2011 සිට බෝගස්වැව ඉඩම් දෙද්දි ඔප්පු ළඟදීම දෙන බව කීවද 2015 ජනවාරියේ ආණ්ඩු පෙරළෙද්දීවත් ඔප්පු ලබා දීමට නොහැකි විය. ඊට හේතුව ඉඩම් රක්ෂිතයෙන් මුදා හැර නොතිබුණු නිසාය.
රාජපක්ෂ රජය සමයේ මෙම ගමේ අඩුපාඩු ගැන ලියූ මාධ්‍යවේදියකු යුද හමුදා කඳවුරකට ගෙන්වා ප්‍රශ්න කළේය. ඒකා කවුරුත් දන්නේ නැත. දැන් බෝහෝ දනෙකු කතා කරන්නේ බෝගස්වැව යනු ඔවුන් විසින් ඊයේ පෙරේරා සොයා ගැනුණු ගමක් ලෙසය.
මේ ආණ්ඩුව පත් වී දැන් අවුරුද්දකට වැඩිය. නමුත් බෝගස්වැව ගැන තවමත් මේ ආණ්ඩුවේ ඇස් ඇරුණු බවක් පෙනෙන්නටද නැත.
බෝගස්වැව ගැන පැති දෙකකින් බැලිය යුතුය. පළමු වැන්න වන රක්ෂිතය කපා විනාශ කළ හා අනවසරයෙන් ජනතාව පදිංචිකළ දේශපාලකයන්ට හා නිලධාරීන්ට එරෙහිව නීතිමය කටයුතු සිදු කළ යුතුය. දෙවැන්න දේශපාලකයන්ගේ වරදට සාමාන්‍ය ජනතාව පළි නැති නිසා අනවසරයෙන් හෝ එහි පදිංචිකළවුන්ට දැන් අවශ්‍ය පහසුකම් දී ඔවුන් නගා සිටුවිය යුතුය.
රිෂාඩ් කැලේ කපනවා යැයි කෑ ගසන බොදු බල සේනාවට, බෝගස්වැව පැවැති රක්ෂිතය නාමල් රාජපක්ෂලා විනාශ කිරීම සාධාරනීකරණය කළ හැකිද? ඔවුන්ට රාජපක්ෂ සමයේ බෝගස්වැව නොපෙනුනේ ඇයි?
කවුරුත් නොදන්නා කාරණය නම් රාජගිරියේ ශ්‍රී සුදර්ශනාරාමයෙන් බොදුබල සේනාවේ ඥානසාර හිමි විසින් එළවා දැමූ බව කියන වැලැව්වේ කල්‍යාණධම්ම හිමි දැන් කාලයක සිට වැඩ සිටින්නේ බෝගස්වැව පංසලක වීමය. බොදුබල සේනාවේ හිමිවරුන්ට පෙර ඥාණසාරහිමිගේ කෝපයට පාත්‍රවූ කල්‍යාණධම්ම හිමිට බෝගස්වැව මතක් වී තිබිණි.
----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
ඉර නොපෑයූ ගමක් වවුනියාවේ
2015 දෙසැම්බර් මස 20 19:00:24 | තරිඳු ජයවර්ධන , සිතුම් චතුරංග
යුද්ධය අවසන් කිරීමෙන් පසු මායිම් ගම්මාන ඉවත් කිරීමේ අරමුණින් උතුරු වසන්තය වැඩසටහන යටතේ පිහිටැවුණු බෝගස්වැව ගම්මානය තවමත් අති දුෂ්කර ගම්මානයකි.
වව්නියාව නගරයේ සිට ත්‍රිකුණාමලය පාරේ කිලෝමීටර දෙක හමාරක් ගොස් මාමඩුව හංදියෙන් වමට හැරී (903/1 බස් මාර්ගය) කිලෝමීටර 40ක් පමණ ගිය විට බෝගස්වැව ගම්මානය හමුවේ. මීට වසරකට පහකට පම පෙර ගන වනාන්තරයක්ව පැවැති මෙම ප්‍රදේශය හෙළි පෙහෙළි කර 2011 දී ජනාවාස ඉදි කිරීම ඇරැඹිණි.
උතුරු පළාතේ වව්නියාව දිස්ත්‍රික්කයේ වව්නියාව දකුණ (සිංහල) ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ පාලනය යටතේ ඇති බෝගස්වැව ගම්මානය අයත් වන්නේ සී213සී පිරප්පම්මඩුව් ග්‍රාම සේවා වසමටය. නව ගම්මාන යටතේ ඉදි කැරුණු නන්දිමිත්‍රගම, සැලලිහිනිගම හා නාමල්ගම පසු කරද්දී කරද්දී බෝගස්වැව හමුවෙයි.
එම මාර්ගයේ ලංගම බස් රථ දෙකක් හා පෞද්ගලික බස් රථයක් ධාවනය වන අතර ඇතැම් දිනවල ධාවනය වන්නේ බස් රථ දෙකක් හෝ තුනක් පමණි. මාර්ගයේ ගමන් කරද්දී මුහුණ දෙන දුෂ්කරාතා නිසා බස් සේවකයෝ ද මෙම මාර්ගයේ බස් ධාවනය කිරීමට මැලි කමක් දක්වති.
බෝගස්වැවට යෑමට ඇති කිලෝමීටර 40 ක පමණ මාර්ගයේ සෑම අඩියක් පාසාම වළවල් හැරී ඇති අතර පාරට තාර හෝ කොන්ක්‍රීට් අතුරා නැත. වව්නියාවේ බලධාරීන්ගෙන් ඒ ගැන විමසද්දී ඔවුන් කීවේ මෙම මාර්ගය තම බල ප්‍රදේශයේ ඇතත් එහි සංවර්ධන වැඩ භාර දී ඇත්තේ මිහින්තලේ මාර්ග සංවර්ධන අධිකාරියට බවයි. මාර්ගය සකස් කිරීම ගැන සඳහන් නාම පුවරු තැන තැන ගසා තිබිණි. දුෂ්කරතා රැසක් මධ්‍යයේ මහජනතාව ගැන සිතා අකමැත්තෙන් වුව ද බසය ධාවනය කරන්නේ යැයි නම හෙළි කරනවාට අකමැති වූ බස් සේවකයෙක් කීවේය.
උසස් පෙළ විභාගයට තාක්ෂණ විෂය ධාරාවෙන් ලබන වසරේ පෙනී සිටීමට නියමිත බොගස්වැව පදිංචි එස් ඩී දිලංජන් සඳුන් තිලකරත්න සිසුවා කීවේ ගෙදරින් යද්දි සුදු පැහැති පාසල් නිල ඇඳුම පාසලට යද්දී ගුරු පැහැ ගැන්වී තිබෙන බවයි.
‘‘උසස් පෙළ කිරීමට බෝගස්වැව පාසල් නැහැ. වව්නියාවේ නගරයේ උසස් පෙළට සිංහල මාධ්‍ය පාසල් දෙකක් තිබෙනවා. ඒ මඩුකන්ද පිරිවෙන සහ මඩුකන්ද ජාතික පාසල. මම ඉගෙන ගන්නේ මඩුකන්ද ජාතික පාසලේ. බෝගස්වැව සිට වව්නියාවට බසයක් එන්නේ උදේ 6.30ට. එම බසයේ වව්නියාවට ඇවිත් පාසලට යද්දී උදෑසන අට විතර වෙනවා. එවිට පළමු වැනි කාලච්ඡේදයෙන් කොටසක් ගිහින්. සතියකට දවසක් දෙකක් බස් රථය නැති වෙනවා. එදාට පාසල් යන්න ලැබෙන්නේ නෑ.
සුදු ඇඳුම් ඇඳගෙන උදෙන්ම ලස්සට ලෑස්ති වෙලා ආවට වැඩක් නෑ . වව්නියාවට එද්දී ඇඳුම් ගුරු පාරයි. කොණ්ඩෙත් තඹ පාටයි. පාරේ දූවිලි නිසා ඇග කසන්න ගන්නවා. ‘‘ යයි ද දිලංජන සිසුවා කීවේය.
ගම්මානයේ සෑම පවුලකටම ඉඩම් අක්කරය බැගින් ලැබී ඇති අතර බොහෝ වතු වල ඉරිඟු, කුරක්කන්, මඤ්ඤොක්කා, ගස්ලබු, තිබ්බටු ආදී බෝග වගා කර තිබිණි. දැඩි අව් රෂ්මියට එක් ප්‍රදේශයක ගස් වියැලී ගොස් තිබුණු අතර ගමේ තව පැත්තක වර්ෂාව නිසා බෝග හානි වී තිබිණි.
ගමේ ගෙවල් පහ හයක් හැර ඉතිරි සෑම නිවසක්ම කටු මැටි ගෙවල්ය. ඔවුනට තිබූ එකම පහසුකම විදුලි බලය පමණි. කටු මැටි ගෙවල් රැසකට විදුලිය ලැබී තිබිණි.
2012 දී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මැදිහත් වීමෙන් තමන්ට ඉඩම් ලැබුණු බවත්, නිවසක් සාදා ගැනීමට තහඩු 12ක් ලැබුණු බවත් බෝගස්වැව ගොවි සංවිධානයේ ලේකම් අර් පී අයිරාංගනී (53) මහත්මිය කියන්නීය.
‘අපේ මහින්ද මහත්තයාගේ කාලේ නාමල් රාජපක්ෂ මහත්තයා මැදිහත් වෙලා අපට ඉඩම් දුන්නා. පවුල් 2600කට පමණ ඉඩම් ලැබුණා. තහඩු 12ක් ලැබුණා. අපි මැටි ගසා ගෙවල් හදා ගත්තා. මාස හයක් පමණ යන තුරු වියළි සලාකයක් ලැබුණා. ඉන් පසු එය නැවතුනා. ගොඩින් අක්කරයයි මඩින් අක්කරයයි දෙනවා කියලයි ඒ කාලේ නිලධාරීන් කිව්වේ. නමුත් තවම මඩ ඉඩම් අක්කරය ලැබුණේ නෑ. උතුරු වසන්තය යටතේ අපට විදුලිය ලැබුණා. ඒ ගැන නාමල් මහත්තයට ස්තුතිවන්ත වෙනවා.
ගමේ තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මිනිස්සුන්ට ජීවත් වෙන්න රස්සා නැති එක. කුඹුරු කරන්න මඩ ඉඩම් දුන්නෙත් නෑ. සමහර වෙලාවට වැස්ස නිසා වගා පාළු වෙනවා. නැත්නම් අවුව නිසා පාළු වෙනවා. ගල්, සිමෙන්ති වලින් ගෙවල් හදා දෙනවා කිව්වට තවම ලැබුණේ නෑ. මුල් කාලයේ වගා පාළු වුණාම ගානක් දුන්නත්, කාලෙකින් එය ලැබුණේ නෑ. සමෘද්ධි සහනාධාර ලැබුණෙත් නෑ.
මෙහෙට පානීය ජලය නෑ. එයත් ලොකු ප්‍රශ්නයක්. ගෙවල් 26කට පමණ එක් නළ ළිඳක් තියෙනවා. ඒ වතුරත් බීමට ඒ තරම් හොඳ නෑ. ජල ප්‍රශ්නය උග්‍රයි. ‘‘ යයි ද අයිරාංගනී මහත්මිය පැවසුවාය.
ගම්මානයේ පවුලවලට ඉඩම් අක්කරය බැගින් දුන්න ද අද වනතුරු ඔවුන්ට ඉඩම් ඔප්පු හිමි වී නැත. ඔවුන් අනවසර පදිංචි කරුවන් නොවන බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයය කියයි. වසර තුනකට ආසන්න කාලයක් ගොසිනුත් ඉඩම් ඔප්පු ලබා නොදුන්නේ ඇයිදැයි විමසූ විට නිලධාරීහු නිරුත්තර වෙති.
කළින් සිටි ප්‍රදේශයේ ඡන්ද නාමලේඛණයෙන් නම ඉවත් කළ ගමන් බෝගස්වැවෙන් ඉඩම් දුන්නද ගම්වැසියන්ට ඔප්පු පිරි නැමීමේ වැඩ පිළිවෙළක් සකස් නොකළ බව ගම්වැසියකු මෙන්මලේඛකයකු ද වන අරුණ සංජීව මහතා (40) කීවේය. 2006 දී ඩී ආර් විජයවර්ධන සම්මාන උළෙලේ කුසලතා සම්මානයක් දිනූ ඉන්ද්‍රචාපා නවකතාව අරුණ මහතාගේ කෘතියකි.
‘‘මෙහේ මිනිස්සු හිතාගෙන ඉන්නේ මිනිස්සුන්ට තිබෙන ආදරේට ඉඩම් දුන්නා කියලයි. යුද්දෙන් පස්සේ මායිම් ගම්මාන නැති කරන්නයි මෙහේ ගම්මාන හදලා මිනිසුන් පදිංචි කළේ. කළින් සිටි ප්‍රදේශයේ ඡන්ද නාමලේඛණයෙන් නම අයින් කරගත් ගමන් මෙහේ ඉඩම් දුන්නත් තවම ඉඩම් ඔප්පු ලබා දී නැහැ. ගමේ ගෙවල් රැසකට හරියට වැසිකිළියක්වත් නෑ. වැසිකිළි ආධාර දුන්නේ හිතවතුන්ට. ගමේ තිබෙන දුෂ්කරතාව නිසා සමහරු ඉඩම් අතහැරලා යනවා. වහින කාලෙට මෙහේ පාරවල් වල යන්නත් බෑ. පායන කාලෙට යන්නත් බෑ. වහිද්දි මඩ ගොහොරුවක් වෙනවා පාරවල්. පායද්දී දූවිලි.
ගමේ පාසලේ රජයේ ගුරු පත්වීම් ලැබු අය ඉන්නේ කිහිප දෙනයි. අතිරි පිරිස ස්වේච්ඡා. ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් ගැනත් ගැටළු තිබෙනවා. රෝහලේ නේවාසික පහසුකම් නෑ. රෑට වෛද්‍යවරයෙක් නෑ. පාරත් හොඳටම සවුත්තුයි. හදිසියේ අසනීපයක් වුණොත් වව්නියාවට ගෙනියන්න වෙනවා. ඒ පාරේ ගෙනියද්දි ලෙඩා මැරෙනවා.‘‘ යි අරුණ සංජීව මහතා කීවේය.
රුපියල් දෙකෝටි පනස් තුන් ලක්ෂ හැට තුන් දහස් පන්සිය පහක වියදමින් ඉදි කළ බෝගස්වැව රෝහලට ප්‍රතිකාර සඳහා දිනකට රෝගීහු 150ක් පමණ යති. එනමුත් එහි සිටිනුයේ එක් වෛද්‍යවරයෙක්, සාත්තු සේවිකාවන් තිදෙනකු හා ස්වේච්ඡා සේවකයන් කිහිප දෙනකු පමණි. අඩු තරමේ එක් හෙදියක හා ඖෂධවේදියකුවත් රෝහලේ නැත. දිනකට ප්‍රතිකාර ලැබීමට එන රෝගීන් ප්‍රමාණය අනුව අඩු තරමේ වෛද්‍යවරුන් තිදෙනකු, හෙද නිලධාරීන් හය දෙනකු, ඖෂධවේදීන් තිදෙනකු හා සාත්තු සේවකයන් හය දෙනකුවත් අවශ්‍ය වේ.
රෝහලේ සිටින එකම වෛද්‍යවරයා වන එස් අයි ජයවික්‍රම මහතා කොළඹ පදිංචිකරුවකු වන අතර සෙනසුරාදා ඉරිදා දිනවල ඔහු කොළඹ යයි. එනිසා සෙනසුරාදා ඉරිදා දිනවල රෝහලේ කටයුතු සිදු නොවේ. වෛද්‍යවරයාට නේවාසිකව සිටීමට නිල නිවසක්වත් එහි නැත. එනිසා රෝහලේ රාත්‍රියට වෛද්‍යවරයකු නැත.
රෝගීන්ට නේවාසික ප්‍රතිකාර ලැබීමට බෝගස්වැව රෝහලේ පහසුකම් නැති නිසා ගම්වාසීන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දෙන බව ගම්වැසියකු වන ඩබ්ලිව් එම් කුමාරසිංහ (38) මහතා කියයි.
‘‘ප්‍රදේශයේ නව දහසක් පමණ ඉන්නවා. ඒ සැමටම ඉන්නේ එක වෛද්‍යවරයයි. රෑකට අසනීපයක් වුණොත් බෙහෙත් කරන්න කෙනෙක් නෑ. සෙනසුරාදා ඉරිදා දිනවලට බෙහෙත් කරන්න කවුරුත් නෑ. රෝහලේ නේවාසික පහසුකම් නෑ. හදිසියේ රෑකට අසනීපයක් වුණොත් කිලෝමීටර 40ක් ඈතින් තිබෙන වව්නියාව රෝහලට ගෙනියන්න වෙනවා. පාර හරි හැටි හදා නැති නිසා වව්නියාවට යන්න බොහෝ වේලාවක් ගත වෙනවා.
රෝහලේ කාමරවල බාරහිර ප්‍රතිකාර ඒකකට 1, 2 ආදී වශයෙන් ගසා තිබෙනවා. හදිසි ප්‍රතිකාර ඒකකය, විශේෂඥ වෛද්‍යවරුන් සඳහා කාමර ආදිය තිබෙනවා. නමුත් බඩු මුට්ටුත් නෑ. වෛද්‍යවරුත් නෑ. සූතිකාගාරයක් නෑ. අඩු තරමේ වින්නඹු අම්මා කෙනෙකුත් නෑ. හදිසියේ අමාරු වුනොත් වවුනියාවට ගෙනියන අතර මග ළමයා හම්බෙනවා.
රෝහල ආරම්භ කළ කාලයේ කාර්ය මණ්ඩලය නැති නිසා ගමේ කිහිප දෙනෙක් ස්වේච්ඡාවෙන් වැඩ කළා. ඔවුන් තවමත් ස්ථිර කර නෑ. සත පහක්වත් නොලබා තමයි වැඩ කරන්නේ. වෛද්‍යවරයාට නවතින්න තැනක් නෑ. රෝහලේ බොන්න වතුර නෑ. ඇම්බියුලන්ස් එකක් තිබුණත් වෛද්‍යවරයකු නැති නිසා එය දුවන්නේ නෑ. ඇම්බියුලන්ස් රියදුරුට නවතින්න තැනකුත් නෑ. ‘‘ යි කුමාරසිංහ මහතා පැවසීය.
රෝහලේ සායනයට වකුගඩු රෝගීහු 200ක් පමණ පැමිණෙති. එහෙත් ඔවුනට විශේෂ ප්‍රතිකාර දීමට තරම් පහසුකම් රෝහලේ නැත.
ගමේ පාසල බෝගස්වැව මහා විද්‍යාලයයි. ළමයින් 500කට අධික පිරිසක් සිටියත් එහි රජයේ පත්වීම් ලැබූ ගුරුවරු සිටිනුයේ විදුහල්පතිද සමග හතර දෙනකු පමණි. සරත් බණ්ඩාර, සචින්ත ද සිල්වා, ඩී එම් මද්දුමබණ්ඩාර සහ රජිතා චිත්‍රලතා ඔවුහුය. පාසලේ ගොඩනැගිලි පහසුකම් ප්‍රමාණවත් නොවේ. එනිසා වැඩි පිරික් ඉගෙනුම ලබන්නේ ටකරන් මඩුවලය.
ගොඩනැගිලි පහසුකම් නැති නිසා වැසි දිනවල සිසුන් අපහසුතාවට පත් වන බව එම පාසලේ සිසුවකුගේ මවක වන ආර් ශාන්ති කුමාරි මහත්මිය කියන්නීය.
‘පාසලේ සුදුසුකම් තියෙන ගුරුවරු අඩුයි. වැඩිපුර ඉන්නේ ස්වේච්ඡා ගුරුවරුන්. සමහර විෂයන්වලට එහෙම ගුරුවරයෙක්වත් නෑ. වැසි දිනවලට ටකරන් ශාලාවල ළමයින්ට ඉගෙන ගන්න බෑ.
මේ ගමේ මිනිස්සුන්ට ඉඩම් ඔප්පු නෑ. ජීවත් වෙන් මාර්ගයක් නෑ. මැටි වෙල්වල ඉන්නේ. ගමේ ගෙවල් දෙක තුනක් හදන්න පටන් අරගෙන අතර මග නැවැත්තුවා. දැන් ඒවා නටබුන් වගේ තියෙනවා.
ළඟදි නිල ඇඳුම් වෙනුවට වවුචරයක් දුන්නා. වවුචරේට රෙදි ගන්න රුපියල් 200ක් වියදම් කරගෙන වවුනියාව නගරයට යන්න ඕනෑ. ඒ වවුචරේට ගන්න පුළුවන් සිල්ක් රෙද්දක් විතරයි. හොඳ රෙදි ගන්නවා නම් අතින් සල්ලි දෙන්න ඕනෑ.
රෝහලේ පහසුකම් නෑ. එක වෛද්‍යවරයයි ඉන්නේ. අවුරුදු 4යි මාස 11ක් පමණ වන මගේ පොඩි පුතාට අසනීප වෙලා බෙහෙත් අරගෙන දුන්නා. නැවත රාත්‍රි අසනීප වුණා. රෝහලේ වෛද්‍යවරයෙක් හිටියේ නෑ. එනිසා වෙනත් රෝහලකට අරගෙන ගියා. එහෙදිත් හරියට බැලුවේ නෑ. මෙයාට යකෙක් වැහිලද ඇහුවා. ටික වේලාවකින් ළමයා නැති වුණා.
මේ ගම්මානේ මිනිස්සු ප්‍රශ්න ගොඩක් මැද ජීවත් වෙන්නේ.‘‘ යැයි ද කුමාරි මහත්මිය කීවාය.
ස්වයං රැකියා කිරීමට උදව් උපකාර කරන්නේ නම් පවුල් රැසක් ශක්තිමත් වන බව සිව් දරු මවක වන එම් චාලට් ප්‍රියංකා මහත්මිය (43) පවසන්නීය. රැකියාවක් නැති නිසා දරුවන් ජීවත් කර වීමට ඇය කුළී වැඩ කරන්නීය. කටු මැටි නිවසෙ ඇත්තේ මඩ ගොහොරුවකය. වැස්ස නිසා ඇගේ නිවස වටා මඩ ගොහොරුවක් වී ඇත.
‘මට දුවලා තුන් දෙනකුයි පුතෙකුයි ඉන්නවා. දුවලා දෙන්නෙක් මෙවර සාමාන්‍ය පෙළ ලිව්වා. අනිත් දුව තවම පොඩියි. පුතාට රස්සාවක් නෑ. මම කුලී වැඩ කරලයි පවුල ජීවත් කරන්නේ. මෙහේ රස්සාවල් නෑ. ස්වයං රැකියාවක්වත් කරන්න උදව් ලැබෙනවා නම් ගොඩක් හොඳයි.‘‘ යි කුමාරි මහත්මිය පැවසුවාය.
ජේ ජයරත්න මහතා (58) මේ ගම ගැන වැඩිපුරම දන්නා පුද්ගලයෙකි. බොහෝ දෙනකු ඔහු හඳුන්වන්නේ ජයේ අයියා ලෙසය. ඔහුගේ බිරිය චන්ද්‍රලතා මහත්මියයි.
‘1968 තමයි මම මුලින්ම මේ පැත්තට ආවේ.අපේ තාත්තාලා එක්ක ඇවිත් ගොවිතැන් කළා. යුද්ධෙ කාලේ තාවකාලිකව නැවැත්තුවා. යුද්ධෙන් පස්සේ ආයෙත් ඇවිත් ගොවිතැන් පටන් අරගෙන දැන් කරගෙන යනවා.
මේ ප්‍රදේශයේ බොහෝ දෙනකුට නිවාස ප්‍රශ්නය තිබෙනවා. ජීවත් වෙන්න ජීවනෝපාය මාර්ගයක් නෑ. බොහෝ දෙනෙක් කරන්නේ කුලීවැඩ. ගමේ රෝහලේ එක දොස්තර මහත්තයයි ඉන්නේ. ඒ නිසා ඒ මහත්තයත් අමාරුවේ වැටෙනවා. ගමේ උදවියත් අමාරුවේ වැටෙනවා. දවසක් අපි දැක්කා දොස්තර මහත්තයට උණ ගැනිලා ඇස්දෙකෙන් කඳුළු එද්දිත් අනිත් අයට බෙහෙත් කරනවා.
ඡන්දෙ කාලෙට පොලිමේ එනවා දේශපාලනඥයො. ඉන් පස්සේ කවුරුත් මොනවත් බලන්නේ නෑ. අපි වඳින්න යද්දි අහක බලා ගන්නවා මොනවත් ඉල්ලයි කියලා බයේ. පාර හදා දෙන්න , ගෙවල් හදා දෙන්න කියලා කොච්චර ඉල්ලීම් කළත් තවම මොනවත් කළේ නෑ. ‘ යි ජයරත්න මහතා කීවේය.
බෝගස් වැව ගම්වැසියන් ජීවත් වනුයේ ප්‍රශ්න රැසකට මැදීවීය. එනමුත් ඔවුන්ගේ ගැටළුවලට විසඳූම් දීමට රාජ්‍ය නිලධාරියකු හෝ දේශපාලනඥයකු මෙතෙක් ඉදිරිපත් වී නැතැයි ගම්වාසීහු කියති. ඔවුන්ට ඉඩම් ඔප්පු පිරිනැමීමේ වැඩ පිළිවෙළක් ද නැත.
මේ ගැන විමසීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයට ගිය විට ප්‍රාදේශීය ලේකම් නොසිටි අතර එදින වැඩ බැලූ නිලධාරියා කීවේ එම ප්‍රදේශය ගැන තමා නොදන්නා බවයි. තමා වව්නියාවට පැමිණියේ අලුතෙන් බව ද ඔහු කීවේය.
නම හෙළි කරනවාට අකමැති වූ ප්‍රාදේශීය සභාවේ නිලධාරියකු කීවේ බෝගස්වැව ගම්මානයේ ප්‍රශ්න ගැන ඇසිය යුත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්ට වඩා උසස් නිලධාරීන්ගෙන් බවයි. මේ ගැන වැඩි තොරතුරු හිටපු දිස්ත්‍රික් ලේකම්ගෙන් විමසීම වඩා සුදුසු යැයි ඔහු කීවේය.
වව්නියාව හිටපු දිසාපති බන්දුල හරිස්චන්ද්‍ර මහතාගෙන් මේ ගැන විමසූ විට ඔහු කීවේ තමා දැන් ස්ථාන මාරු ලැබ වෙනත් ප්‍රදේශයකට ගොස් සිටින නිසා අදහස් දැක්වීම නුසුදුසු බවයි.
එම ගම්මානයේ වැසියන්ට ඉඩම් ඔප්පු ලබා දීමේ වැඩ සටහන යළි අරඹා ඇති බව පමණක් කිව හැකි බව ද ඔහු කීවේය.
තරිඳු ජයවර්ධන සහ සිතුම් චතුරංග
ඡායාරූප තරිඳු ජයවර්ධන
Post a Comment