‘ජනවාරි අට වැනිදාට පෙර වූ පොරොන්දු ඉටු කළ යුතුයි. ඒ පොරොන්දු හරියට දෙවියන්ට වුණු බාරයක් වගෙයි. කුණු ඇපල් ගෙඩියක් දීලා බාරෙ ඔප්පු කරන්න බෑ. හරියට බාරෙ ඔප්පු කරන්න ඕනෑ. ඒවගේ තමයි වෙච්ච පොරොන්දු හරියට ඉෂ්ඨ කරන්න ඕනෑ.‘ යැයි මාදුළුවාවේ සෝභිත හිමියන් කීවේ පසුගිය පෙබරවාරි මාසයේ දී ය. මෛත්‍රී-වික්‍රමසිංහ ආණ්ඩුව ජනතාවට වූ පොරොන්දු ඉටු කිරීම පමා වන බව පෙනුණු තත්ත්වයක සෝභිත හිමියෝ එසේ කීහ.
සෝභිත හිමියන්ගේ කර මතින් බලයට හා වත්මන් පාලකයන් ද පෙර පාලකයන්ගේ අඩිපාරේ ම යමින් ජනතාවට වූ පොරොන්දු ඉටු කිරීම  පමා කරනවා සේම සෝභිත හිමියන් අපවත් වූ පසු අවසන් කටයුතු සිදු කළ යුතු ආකාරය ගැන ගැන ඒ හිමියන් ජීවත්ව සිටිය දී කළ ඉල්ලීම් ද තුට්ටුවකට මායිම් නොකරන බව පෙනෙයි.

‘මා වෙනුවෙන් උත්සව පවත්වනවට මං කැමති නෑ. මා වෙනුවෙන් කාගෙන්වත් මුකුත් ඉල්ලනවට මං කැමති නෑ. ඒ තියා මා වෙනුවෙන් ආදාහන උත්සවයක් කරනවාටවත් මං කැමති නෑ. ආදහන උත්සයක්වත් කරන්න එපා මට. මම අක්ෂිදාන සංගමේ ප්‍රධාන අනුශාසක. ඒ නිසා එතනට බාර දෙන්න. ඔවුන් අවශ්‍ය දේවල් ගනියි. අරගෙන ඉතුරු හරිය වළලා දාන්න. උදාහන උත්වය කරන්න එපා. ළමයි අව්වේ තියන්නත් එපා. ලක්ෂ ගණන් දීලා පෙට්ටි ගන්නත් එපා.‘ යැයි මාදුළුවාවේ සෝභිත හිමි කරන ප්‍රකාශයක් සඳහන් වීඩියෝවන් සමාජ ජාල ඔස්සේ සංසරණය   වෙයි.

මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ඉතිහාසය ගැන ජනමාධ්‍යවල පළ විය. මෑත කාලයේ ඒ හිමියන් වැඩි කතා බහකට පත් වූයේ සහ කවුරුත් හොඳන් දන්නේ රාජපක්ෂ පාලනයේ වැරදි නොභියව කී හිමිනමක් ලෙසය.  වැරදි මග යන රාජපක්ෂ පාලනය හරි මගට ගැනීමට වෙහෙසුණු සේභිත හිමියෝ එය රාජපක්ෂවරුන්ට උපදෙස් දීම බීරි අලින්ට වීනා වාදනය කිරීමක් යැයි සිතා දෙවැනි විකල්පයකට ගියහ. එය අවසන් වූයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වීමෙන් පසුය. සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුව ද දුන් පොරොන්දු ඉටු නොකරන තත්ත්වයක සෝභිත හිමියෝ ඊට එරෙහිව ද හඬ නැගූහ. රාජපක්ෂ-මෛත්‍රී-වික්‍රමසිං ආදී දේශපාලනඥයන්ගේ හොඳකට හෝ රට වැසියන්ගේ අභාගයට හෝ සෝභිත හිමි කිසිවකු නොසිතූ මොහොතක අවසන් ගමන් ගියේය.

‘සාධාරණ සමාජයන් සඳහා වූ ජාතික ව්‍යාපාරය පාරවල් දෙකක් ඔස්සේ ගමන් කළා. එක් පාරක් තමයි විධායක ජනාධිපති ක්‍රමහය අහෝසි කරන්න, 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැවත ශක්තිමත් කරන්න, 18 වැනි සංශෝධනය අහෝසි කර දමන්න, විනාශකාරී මැතිරණ ක්‍රමය වෙනස් කරන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිට බලකරන්න. මහින්ද රාජපක්ෂ ජනාධිපති වෙන්න පෙර මේ ක්‍රමයට විරුද්ධව උර දුන්නු කෙනෙක්. ජනාධිපති වුණාට පස්සේ නෙමෙයි, වෙන්න පෙර. ඔහුගෙන් මේ දේවල් ඉටු කර ගන්න බැරි තැන අපි වෙනත් මාර්ගයක ගමන් කරන්න තීරණය කළා. මේ දේවල් ඉටු කර ගත හැකි පොදු අපේක්ෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට යෝජනා වුණා. පොදු අපේක්ෂක සංකල්පය ඇති කරගෙන සියලුම පක්ෂ වගේ හමු වුණා. පොදු අරමුණු ජයග්‍රහණය කරීමේ අවශ්‍යතාවය පැහැදිලි කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල පිරිසක්,   ජනතා විමුක්ති පෙරමුණ , වාමාංශික පක්ෂ විතරක් නොවෙයි ටීඑන්ඒ එකත් කැමති වුණා.‘ මීට මාස කිහිපයකට පෙර සෝභිත හිමියන් එලෙස කීවේ සමූඛ සාකච්ඡාවකට ගිය අවස්ථාවක දී ය.

‘ප්‍රශ්නයක් වුණේ එජාපය. මේ ගැන රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක කතා කළාම කිව්වා අපි එකඟයි මේවලට. ඊළඟ ජනාධිපතිවරණ අපේ පක්ෂයා අපේක්ෂකයා විදියට මාව තෝරගෙන ඉවරයි. පක්ෂයේ තීරණයට විරුද්ධ වෙන්න බෑ. ඔබ වහන්සේලාගේ සහයෝගය අපට දෙන්න. අපි මේ ටික කරන්නම් කිව්වා. අපි වික්‍රමසිංහ මහතාට පැහැදිලි කළා. රටේ උපරිම ගත්තොත් එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද තියෙන්නේ සියයට 45යි. පක්ෂයේ මතබේදකාරී තත්ත්වයකුත් තබෙන නිසා ඔබතුමාට ඕන නම් සියයට 40ක් ලැබේවි, දෙමළ සන්ධානෙත් කියනවා වික්‍රමසිංහ මහත්තයා එනවා නම් අපට සහයෝගය දෙන්න බැහැ කියලා. ජනතා විමුක්ති පෙරමුණත් කියනවා සහයෝගය දෙන්න බැහැ කියලා. හෙළ උරුමෙත් කියනවා බැහැ කියලා. එතකොට තනිවම තමා ඔබතුමාට තරග කරන්න වෙන්නේ. එතකොට ජයග්‍රහණය කරන්න බෑ. ඒ නිසා ඔබතුමාගේ සහ එජාපයේ ආශිර්වාදය දෙන්න පුළුවන් හැමෝම එකඟ වෙන කෙනෙක් පොදු අපේක්ෂකයා විදියට තෝරා ගමු කියා ඔහුට පැහැදිලි කළා. අපට ඕන කම තිබ්බේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති පුටුවේ වාඩි කරවන්න නොවෙයි. අපට අවශ්‍ය හොඳ ප්‍රතිපත්ති ඒ පුටුවේ වාඩි කරවන්නයි.‘ යැයි සෝභිය හිමියෝ කීහ.
මෑතකාලයේ සෝභිත හිමියන්ට එල්ල වූ තර්ජන ගැන ද ඒ හමියෝ අප සමග කීහ.

‘ජනරාල් සරත් ෆොන්සේකා හිරේ දැම්ම වෙලේ අවංක හදවතක් තියෙන හැමෝම විරුද්ධ වුණා. හරකෙක් මරන්න ගෙනියනවා වගේ ඇදගෙන ගිහින් ජම්පරයක් අන්දලා ඇතුළට දැම්මා. අපි මේකට විරුද්ධ වුණා. ඔහු නිදහස් කරන්න කියා දළදා වහන්සේ ගාව පූජාවක් තියන්න ලෑස්ති කළා. කළින් දවසේ රෑ හරියට තර්ජන ආවා මරණවාමයි කියලා. මේක කරන්න දෙන්නේ නෑ, යන්න එපා, මරණවා කියලා තර්ජන ආවා. මටත් හිතුණා මොනවා හරි කරයි කියලා. මං මගේ කාර් එකේ නොගිහින් යාළුවෙක්ගේ වාහනයක් අඬගහගෙන ගියා. නමුත් ඒකයත් යන්න දුන්නේ නෑ, පිටකොට්ටේ හරියෙදි වෑන් එකේ පිටිපස්සෙන් හයියෙන් ලොරියකින් ඇන්නා. ඇනලා කිව්වා පොලිසිය යන් කියලා. පස්සේ පොලිසි ගිහින් මහත්තයෝ මේක ලියලා තියන්න, මං ඇවිල්ලා මොනවා හරි කර ගන්නම් කියලා ලොකු මහත්තයට කියලා මං වෙනිං වාහනයක් කුලියට අරං තමයි ගියේ. දෙකට පටන් ගන්න තිබ්බ වැඩේට එහෙට යනකොට හතර හමාරයි. මේවගේ දිගටම තර්ජන ආවා. සමහරුන්ට අපට සහයෝගය දෙන්න ඕන කම තිබුණත් බයට සහාය දුන්නේ නෑ. රජයේ රූපවාහිනී නාලිකා වලට මාව තහනම් කළා.‘

තමන් වහන්සේට රාජ්‍ය මාධ්‍ය තහනම් වූ බව සෝභිත හිමියෝ ම කීහ. සඳුදා (09) දොරමඬලාවේ වැඩි ඉඩක් වෙන්වූයේ සෝභිත හිමියන් ගැන කතා කරන්නටය. නිවේදක හසන්ත හෙට්ටිආරච්චි සෝභිත හිමියන්ගේ වියෝවෙන් තමා කණගාටුවට පත් වූ බව කියමින් ඒ හිමියන් සමග වැඩසටහන් පැවැත්වූ හැටි කීවේය. හසන්තට ද එකක් අමතක වී ඇත. එනම් කාලයක් දොරමඬලාව ද මාදුළුවාවේ සෝභිත හිමියනට තහනම් වීමයි. එලෙස තහනම් වීමට එකම හේතුව සෝභිත හිමියන් ‘බණ‘ නොදැනීම නොවේ. පැවැති දුර්දාන්ත පාලනයට එරෙහිව හඬ නැගීම පමණි. අද කිඹුල් කඳුළු හෙළන බොහෝ දෙනෙක් ඒ කාලයේ හැසිරුණේ එසේ ය.
අධිකරණයේ ස්වාධීනත්වය ගැන ද සොභිත හිමියෝ හඬ නැගූහ. මොහාන් පීරිස් තනතුරේ ඉන්දිම ඔහුගේ පත්වීම නීත්‍යනුකූල නොවන බව සෝභිත හිමියෝ ද කිවූහ.
‘එතුමා නීත්‍යනුකූලව පත්වෙච්ච කෙනෙක් නෙවෙයිනේ. ඔහුගේ පත්වීම වැරදි බව ජාත්‍යන්තර විනිසුරුවරුන්ගේ සංගමෙනුත් දන්වා තිබෙනවා. ශිරාණි බණ්ඩාරනායක අයින් කළ විදිය වැරදි. එතුමිය අයින් කරලා නෑ. ‘

මහින්ද රාජපක්ෂ පරාජයෙන් පසු ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාත්මක කිරීම සඳහා සෝභිත හිමියෝ මේ ආණ්ඩුවට ද බලපෑම් කළහ. පාගමන් ගියහ. පොඩි පොඩි දේවල් කරමින් ජනතාව නොරවටන ලෙස සෝභිත හිමියෝ මෛත්‍රීපාල සිරිසේන  ජනපතිට කීහ.
‘අපි ඔක්කොම විහාරමහාදේවී උද්‍යානයට ගිහින් ජනතාවට බාරයක් වුණා. ඒ බාරය හරි ආකාරව ඔප්පු කළ යුතුයි.   කුණු ඇපල් ගෙඩියක් දීලා බාරෙ ඔප්පු කරන්න හදන්න එපා ජනපතිතුමනි. ඒ බාරයට හරියට ඔප්පු කරන්න.‘
සෝභිත හිමියන් කිසිදු විටක පක්ෂ බදාගෙන සිටියේ නැත. පුද්ගලයන් බදාගෙන සිටියේ නැත. ඒ අවස්ථාවේ කළ යුතු හරි දේ කිරීමට පසු බට වූයේ ද නැත.
‘හාමුදුරුවො දේශපාලනේ කළා බණ කිව්වේ නෑ‘ යැයි ඇතැමෙක් කියති. ඔවුන් එසේ කියනුයේ පටු පරමාර්ථ හිතේ තබාගෙන විනා සෝභිත හිමි ගැන දැනගෙන නොවේ. සෝභිත හිමි විචිත්‍ර ධර්ම කථිකයෙකි. බෞද්ධ හමි නමක ලෙස රට වෙනුවෙන් පමණක් නොව බෞද්ධ දර්ශනය වෙනුවෙන් ද කළ යුතු දෑ කළහ.
ජාතිවාදය ඇවිස්සවූයේ නැත. සියලු ජාතීන්ගේ මානුශ්‍යත්වය අගය කළහ. ප්‍රචන්ඩත්වය ප්‍රතික්ෂේප කළහ.

එපමණක් නොව තනතුරු වරදාන වරප්‍රසාද පස්සේ ගියේ නැත. සෝභිත හිමියන්ට නායක, අනුනායක, සංඝනායක තනතුරු නැත. ඒ කිසිම තනතුරක් සේභිත හිමි බාර ගත්තේ නැත. ආණ්ඩුවේ ඕනෑම තනතරක් ගැනීමට හැකියාව තිබුණත් එලෙස තනතුරු පසුපස ගියේ ද නැත. ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යන්නට හැකියාව තිබුණත් එසේ කළේ  ද නැත.
රාජපක්ෂලාගේ මර්දන කාරී වැඩපිළිවෙළ හමුවේ කැඩී බිඳී විසිරී ගිය සිවිල් සංවිධාන සියල්ල එකතු කර එක පෙරමුණකට ගැනීමට වෙහෙසුණේ අන් කවරකුවත් නොව සෝභිත හිමියන්ය.

කහ කොඩි දමා, ලක්ෂ ගණන් විදයම් කර ආදාහන උත්සව පවත්වා සෝභිත හිමියන්ට ගෞරව කළ නොහැකිය. ඒ හිමියනට ගෞරව කරනවා නම් කළ යුතු එකම ක්‍රමය සෝභිත හිමි පැතූ සාධාරණ සමාජය ගොඩ නැගීමය. 


Post a Comment

 
Top