අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් කළ පරීක්ෂණ අනුව ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් නඩු පැවරීමට ප්‍රමාණවත් සාක්කි ඇති නිසා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ ඇවන්ගාඩ් අධිපති නිශ්සංඛ සේනාධිපති ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත්වරයකුට ඉදිරිපත් කරන ලෙස එම ලිපි ගොනුව අධ්‍යයනය කළ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් වසන්ත නවරත්න බණ්ඩාර මහතා නීතිපතිට නිර්දේශ කර තිබේ.
ඇවන්ගාඩ් ආරක්ෂා කිරීමට ආණ්ඩුවේ ඇමැතිවරුන් පෙනී සිටින තත්ත්වයක නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්ගේ එම නිදේශ ක්‍රියාත්මක කිරීම  නීතිපති පැහැර හැර ඇත්තේ කාගේ හෝ බලපෑමකට ද විය හැකිය.
සීආර්යි/58/2015 අංකයෙන් තම වාර්තාව නීතිපතිට ඉදිරිපත් කරන නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් නවරත්න බණ්ඩාර මහතා කියනුයේ රක්නා ලංකා අවි ගබඩාව නීත්‍යනුකූල නැති බවයි.
අනවසරයෙන් ශ්‍රී ලංකාවට ගිනි අවි ගෙන්වීම, වලංගු බලපත්‍රයක් නැතිව උණ්ඩ ළඟ තබා ගැනීම සහ එම වැරදි සිදු කිරීමට  කුමන්ත්‍රණය කිරීම හා ආධාර අනුබල දීම යටතේ පස් දෙනකුට එරෙහිව නඩු පැවරිය හැකි බව එම වාර්තාවේ සඳහන්ය.
අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් වරයකු හමුවට ඉදිරිපත් කරන ලෙස රහස් පොලිසියට උපදෙස් දෙන්නැයි නීතිපතිට නිර්දේශ කර ඇති සැකකරුවන් වන්නේ ඇවන්ගාඩ් මැරටයිම් ආයතනයේ සභාපති නිස්සංක සේනාධිපති, එම ආයතනයේ අධ්‍යක්ෂ මංජුලකුමාර යාපා,  ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ, එම අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති  එම් එස් ජයරත්න සහ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ අධ්‍යක්ෂ මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු ය.
ඔවුනට එරෙහිව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත, ගිනි අවි ආඥාපනත සහ පුපුරණ ද්‍රව්‍ය ආඥා පනතින් චෝදනා එල්ල කළ හැකි බව එම වාර්තාවේ පැහැදිලිව දක්වා තිබේ. එසේම මුදල් විශුද්ධිකරණ පනත යටතේ ද නඩු දැමිය හැකි බව එහි සඳහන් ය.
එක් එක් පනතේ වගන්ති උපුටා දක්වමින් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා චෝදනා සනාථ කිරීමට කරුණු ඉදිරිපත් කර තිබේ.

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නිර්දේශ කර ඇති දමයන්ති ජයරන්ත දැන් වජිර අබේවර්ධනගේ අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරියකි. ගෝඨාගේ අමාත්‍යංශයේ අතිරේක ලේකම් කම කළ දමයන්ති ජයරන්ත යහපාලන ආණ්ඩුවේ ඇමති වජිරගේ අමාත්‍යංශයට පැන ගත්තේ කෙසේ දැයි දන්නේ ඔවුන්ම පමණි. 


Post a Comment

 
Top