ලංකා ඊ නිව්ස් කර්තෘ සඳරුවන් සේනාධීරගේ සටහනකි

චිත්‍රයත් කතාවත් කවියත් උපහාසයත් අදීනත්වයත් දෝත දරා දශක 5 කට අධික කාලයක් දිනපතා ජනතාව පිනැවූ දයා රාජපක්ෂ සමුගෙන තිබේ


(ලංකා ඊ නිව්ස් -2015.ජූලි.26, ප.ව.4.10- අවමංගල සේයාරූ සහිත දෙවන සංස්කරණය -ප.ව.9.00) ශ්‍රී ලංකාවේ චිත්‍රකතා කලාවේ දෙවන යුගයේ පහන් තරුව ලෙස සැලකිය හැකි දයා රාජපක්ෂ මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ. ජීවිතයෙන් සමුගන්නා විට ඔහුගේ වයස අවුරුදු 78 ක් වූ නමුත් අවසාන සති කිහිපය දක්වාම ඔහු තම රසිකයන් පිනවීය.
හදිසියේ උදරාභ්‍යන්තරයේ රක්තපාතයකින් පෙළුනු ඔහු පුද්ගලික රෝහලකදී සැක්තමකට භාජනය කළ නමුදු එය සාර්ථක වූයේ නැත. ඉන්පසුව කොළඹ මහ රෝහලට ඇතුලත් කළ අතර එහිදී යලිත් සැත්කමකට මුහුණ දුන්නේය. එයද අසාර්ථක වීමෙන් පසුව අද උදෑසන දයා රාජපක්ෂ මහතා දශක 5 කට අධික තම මහජන සේවය සදහටම නිමා කර නික්ම ගියේ ය. 
ශ්‍රී ලංකාවේ චිත්‍රකතා කලාව ආරම්භ කෙළේ නැසී ගිය ජී.ඇස්.ප්‍රනාන්දු මැතිඳුන් විසින් ‘නීලා‘ නමැති චිත්‍ර කතාවක් අඳිමිනි. පසුව සුසිල් ප්‍රේමරත්න, පුරවිජය ෆොන්සේකා, ඩබ්.ඒ කරුණාරත්න ආදීහු ශ්‍රී ලංකා චිත්‍රකතා කලාවේ ආරම්භක යුගය හෙවත් චිත්‍රකතා පොත් යුගය නිර්මාණය කළහ. පසුව ආ දෙවැනි යුගය ලෙස සැලකිය හැකි චිත්‍රකතා පත්තර යුගය සහ පත්තර වල චිත්‍රකතා අනිවාර්ය අංගයක් වීමේ යුගයේ දීප්තිමත්ම තාරකාව නෝටන්බ්‍රිජ්හි දයා රාජපක්ෂ යැයි අප කිවහොත්  කිසිවෙකු ඊට උරණ නොවනු ඇත.
හැටේ දශකයේ අවසාන භාගයේ සිට අද දක්වා පුරා දශක 5 කට අධික කාලයක් පුරා සිය නිර්මාණ චාරිකාවේදී දයා රාජපක්ෂ චිත්‍ර කතාව සමග තවත් කලා මාධ්‍ය කිහිපයකින් දස්කම් දැක්වීය. කාටූන් කලාව මෙන්ම කවිය ද චිත්‍රපට තිරනාටක රචනයද ඉන් ප්‍රධාන තැන්හි ලා ගිනිය හැක. සාම්ප්‍රදායික සිව්පද ජන කවි එකතුවක් වූ සතිපතා ‘මඩිස්සලය‘ ආරම්භයේ සිට අද දක්වාම ජන හද දිනූ කවි එකතුවක් විය. 
වයස 8 සිට 80 දක්වා පුද්ගලයන් පිනවීමට යම් කලා කරුවෙකුට හැකියාවක් ඇතිනම් ඔහු අත්‍යන්තයෙන්ම අති දක්ෂ කලා කරුවෙකි. දයා රාජපක්ෂ එවැන්නෙකි. පුවත් පතක මුල් පිටුවේ සිරස්තලය පළමුවෙන්ම කියවන පාඨකයා දෙවැනියට කියවන්නේ පසු පිටෙක ඇති දයා රාජපක්ෂගේ චිත්‍රකතාවයි. අප දන්නා බාල තරුණ මහළු පාඨකයන් බොහෝ දෙනාගේ සිරිත එයයි. මෙය කියවන බොහෝ දෙනා අතරද එම පුරුද්ද ඇත්තෝ වෙති. ඒ අන් කිසිවක් නිසා නොව දයා රාජපක්ෂගේ චිත්‍ර කතා කලාවේ තිබූ ප්‍රබලතාවයයි. ඔහුගේ චිත්‍ර වලට වඩා කතාව ප්‍රබල විය. සමාජයේ පහල ජනතා පන්ති තීරුවල චරිත ඔහුගේ කතාවල වීරයෝ වූහ. චිත්‍ර කතා කරුවාට ඇත්තේ සීමිත නිදහසකි. ස්වල්ප දෙබස් කිහිපයකින් ප්‍රබල කතාවක් කිව යුතුය. ශ්‍රී ලංකා චිත්‍රකතා කලාවේ ප්‍රබලතම දෙබස් රචකයා දයා රාජපක්ෂයයි අප කිවහොත් ඊටද කිසිවෙක් උරණ නොවනු ඇත. ඔහුගේ චිත්‍රකතාවල චරිත කියනා දෙබස් ඛන්ඩ දනන් තුඩ තුඩ රැව් නගන වචන ඛන්ඩ බවට පත්වීම සුලභව සිදුවී ඇත. 
දයා රාජපක්ෂගේ දෙබස් රචනාවන්හි තිබූ ප්‍රබලතාවය නිසාම ඔහුගේ තරම් චිත්‍රකතා තොගයක් අන් කවරෙකුගේ හෝ චිත්‍රකතා සිනමා නිර්මාණ සේ එළිදක්වා නැත. ඒ සියළුම සිනමා නිර්මාණයන්ගේ පාහේ තිර රචනා සහ දෙබස් රචනා කෙළේද දයා රාජපක්ෂ විසින්ම ය. එහි අග්‍රඵලය ‘හුලවාලි‘ යැයි කිව හැකිය. 1966 නිර්මාණය කළ ‘ඉන්දු‘ නැමැති චිත්‍රකතාව ඔහුගේ පළමු චිත්‍රකතාව යැයි පැවසුවද අපගේ මතකයේ හැටියට නම් එය ‘ලැව් ගිනිදැල්‘ විය යුතුය. (සමහරවිට එය වැරදි විය හැකිය) කෙසේ වෙතත් එදා සිට  අද දක්වා ඔහු මෙරට ජනතාවට දායාද කළ නිර්මාණ දහස් ගණනකි. ඒ අතරින් වඩාත් වැදගත් යමක් කිව යුතුය. බටහිර කලා ලෝකයේ මිනිස් සිතුම් පැතුම් ඇති රොබෝ කෙනෙකුගේ චරිත අද වනවිට සුලභව දක්නට ඇතත් දයා රාජපක්ෂ ‘ආදර කොමා‘ චිත්‍රකතාවෙන් එවන් චරිතයක් නිර්මාණය කෙළේ මාවෙල්ලා ස්පීල්බර්ග්ලා එවන් චරිත නිර්මාණය කිරීමට පෙර දී වීම පුදුම ය.
පසුගියදා ජිප්සීස් සුනිල් පෙරේරා කී පරිදි ලංකාව යනු මහා කාලකන්නි රටක් බව තහවුරු කෙරෙන්නේ දයා රාජපක්ෂ වැනි කලා කරුවෙකු එවන් කෙතරම් අනගි නිර්මාණ කළද කිසිදු අගැයීමකට ලක් නොවීමයි. අප දන්නා පරිදි ඔහුට කලා ශූරී, කලා භූෂණ වැනි රාජ්‍ය සම්මාන කෙදිනකවත් ලැබී නැත. දයා රාජපක්ෂ යනු එවැනි දේ පසුපස නොගිය අදීනත්වයෙන් අග තැන්පත් කලා කරුවෙකු බවද එවැනිම සත්‍යයක් නමුත් සොයා බලා අගය කිරීම බලධාරීන්ගේ යුතුකමකි. කොටින්ම කියන්නේ නම් මේ ලිපිය ලිවීමට පෙර දයා රාජපක්ෂ වැනි සිනමාවට සේවය කළ පුද්ගලයෙක් ගැන චිත්‍රපට සංස්ථාව කුමක් සටහන් තබා ඇතිදැයි සෙව්වෙමු. ඛේදවාචකය නම් තිරනාටක රචනා ලැයිස්තුවේ ඔහුගේ නමක් ඇතත් ඉන් එහා කිසිදු සටහනක් නොතිබීමයි. සේයාරුවක් හෝ තිබුනේ නැත. (පුදුම වීමට දෙයක්ද නැත. මන්ද යත් පසුගියදා මිය ගිය ජේ.එච්.ජයවර්ධන මහතා ගැන සොයද්දී චිත්‍රපට සංස්ථාව ඔහු මිය ගියා යැයි සලකා වාර්තා තබා තිබුනේ ඊට වසර ගණනකට පෙරය. එනම් ජේ.එච්.ජයවර්ධන ජීවතුන් අතර සිටින බවක් හෝ ඔවුන් දැන සිට නැත.)
මෙවැනි දේට හේතු කාරණා තිබේ. එකක් නම් කලක් තිස්සේ ලංකාවේ විචාරක කලාවේ බින්න බැස ගෙන සිටින වම්මුන්ගේ කුහක කමයි. උනට චිත්‍රකතා කලාව වනාහී ගර්හිත මාධ්‍යයකි. අනෙක බොරු පන්න කාරයන් විසින් බින්න බැසගෙන සිටින ඉංගිරිසි විචාර සමාජයයි. උනටද සිංහල චිත්‍රකතාව කල් කදුරුය. කර්තෘ සංසදයෙන් වාර්ෂිකව පුදන සම්මාන මල්ලෙන් වුව චිත්‍රකතා ශිල්පියෙකුට සම්මානයක් දුන් බවක් අප අසා නැත. කාටූන් ශිල්පියෙකු ලෙස හෝ මඩිස්සලය රචනාවට හෝ දයා රාජපක්ෂ වරෙක ඔවුන්ගේ සම්මාන‍යෙන් පුද ලද බවක් මතකයේ ඇතත් ඒ චිත්‍රකතාවකට නොවන බවනම් ඉඳුරාම කිව හැකිය. 
මේ සටහන දයා රාජපක්ෂ පිලිබඳ අසම්පූර්ණ සටහනකි. අවසානයට පෙර කිව යුතු යමක් තිබේ. අපි තරුණයන්ව සිටියදී 1984-85 දී පමණ ‘නිර්මාණ සංවාද කුලකය‘ නමින් ව්‍යවස්ථාවක් නැති සුහද එකමුතුවක් හදා ගෙන සිටියෙමු. නිර්මාණ කිරීමත් අනෙකාගේ නිර්මාණ ගැන සංවාද කිරීමත් එහි අරමුණ විය. එමගින් අපි සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමු. එහි දෙවැන්න හෝ තුන්වැන්න වූයේ ‘කලා මාධ්‍යයක් ලෙස චිත්‍රකතාවේ ප්‍රබලතාවය‘ යන්නයි. එහිදී චිත්‍රකතා නිර්මාණ ශිල්පීන් වේදිකාවට ගෙන්වා ඔවුන්ගේ අත්දැකීමත්, එකල විචාරකයන් යැයි නම් දැරූ පුද්ගලයන්ගේ දේශනත්, සහභාගීවූවන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දීමත් සිදුකළේය. චිත්‍රකතා ගැන කොළඹ මහජන පුස්තකාලයේ තැබූ සම්මන්ත්‍රණය අතුරු සිදුරු නැතිව ශාලාව පිරී ගිය සම්මන්ත්‍රණයක් විය. එදිනද චිත්‍රකතා කලාව යනු ගර්හිත මාධ්‍යයක් යැයි කී වමේ විචාරකයෝ සිටියහ. අක් බඹරුවන් කෙහෙරැලි සහිත පියරු බබ්බු නිර්මාණය කරන ගර්හිත කලාවක් ලෙස චිත්‍රකතාවට ගරහද්දී එය එසේ නොවේ යැයි කියා උදාහරණයක් ගැනීමට එදා තිබුනේද දයා රාජපක්ෂ මහතාගේ නිර්මාණ පමණි. ඔහුගේ නිර්මාණ, සමාජය විනිවිදි නිර්මාණ වීම ඊට හේතුව විය. එදා දයා රාජපක්ෂ මහතාද ආරාධිතයෙකු ලෙස පැමිණ සිටියේ ය. 
කෙසේ නමුත් එදායින් පසු අද දක්වා දශක තුනකට අධික කාලයකට පසුව හෝ චිත්‍රකතා කලාව අගය කිරීමට විචාරයට ලක් කිරීමට වර්ධනය කිරීමට කිසිවෙක් උත්සාහ නොකිරීම අවාසනාවකි. ලෝකයේ චිත්‍රකතාව යනු ධන උල්පතකි. ලංකාවේ චිත්‍රකතාව කලාවක් ලෙස හෝ සමාගම් ආකාරයෙන් ධනෝපායන ව්‍යාපාරයක් ලෙස හෝ වර්ධනය වී නැත. ඉතාමත් ලෙහෙසියෙන් පරිවර්තන කලාවක් ලෙස වර්ධනය කළ හැකිව තිබියදී වෙනත් රටවල එය එසේ වෙද්දී ලංකාවේ චිත්‍රකතා කරුවෙකුගේ චිත්‍රකතාවක් හින්දියට පරිවර්තනය කර ඉන්දියාවේ ප්‍රකාශයට පත්කිරීමට හෝ කිසිවෙකු උනන්දුවක් ගෙන නැත. ඊට ප්‍රධාන හේතුව නම් චිත්‍ර කතා කලාව කලාවක් ලෙස ලංකාව විසින් අගැයීමකට ලක් නොකිරීමයි.
එසේ වූවා කියා දයා රාජපක්ෂලා නිකම් සිටියෝ නොවූහ. දශක 5 කට අධික කාලයක් තම නිර්මාණ මගින් දිනපතා ජනතාව පිනැවීම කලා කරුවෙකුට ලැබෙන මා හැඟි අවස්ථාවක් මෙන්ම එය ලෙහෙසි පහසු කාරියක්ද නොවේ. දයා රාජපක්ෂ යනු එවැනි වාසනාවන්තයෙකි. ඔහු තම නිර්මාණ තුට්ටු දෙකට අලෙවි කෙළේද නැත. එනිසාම ඔහුට හොඳ කොන්දක් තබාගෙන මිය යන තුරුම ජීවත්විය හැකිව තිබිණ. දේශපාලන පක්ෂ වල ජාතික ලැයිස්තුවලට නම දමා ගැනීමේ මේනියාවක්ද නොතිබිණ.
දයා රාජපක්ෂ මහතා අතිශය සෝපාහාසයෙන් අනූන දුර්ලභ ගුණ සහිත අදීන මහත්මයෙකි. කිසිවෙකුට බරක් කරදරයක් නොකළ උදව්වක් පමණක්ම කළ සුධීමතෙකි. තමන්ගේ චිත්‍රයත් කතාවත් කවියත් උපහාසයත් අදීනත්වයත් දෝත දරා ‘දයා අයියා‘ මීළඟ ආත්මයේත් යලි ඉපැදිය යුතු යැයි ප්‍රාර්ථනා කරමු. නමුත් ඒ කලා කරුවන්ට නිසි අගයක් දක්වන වෙනත් රටක නම් ඔහුට මානව වර්ගයා වෙනුවෙන් මීට වඩා අති මහත් සේවයක් කළ හැකි වනු ඇත. 
(සඳරුවන් සේනාධීර විසිනි)

Post a Comment

 
Top