74056_hirunika
යහ පාලනය ගැන කළකිරී බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද මෙනවිය දේශපාලන තීන්දුවක් ගන්නට යන බවට පසුගිය සතියේ කතා පැතිරිණි. තමා දැන් පෙම්වතියක බව කියමින් ඇගේ ෆෙස්බුක් පිටුවේ පළ කළ පණිවුඩයක් නිසා ද ඇය කතා බහට ලක් විය. දේශපාලනය සහ ඇගේ පෞද්ගගලික තොරතුරු ගැන ඇය සමඟ කළ සාකච්ඡාවකි මේ.
ප්‍රශ්නය - යහපාලනය කොහොමද?
පිළිතුර - අවුරුදු නවයක් තිස්සේ කරන්න බැරිවුණු ඇතැම් දෑ පසුගිය දින කිහිපයේ කළා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සහ ඒ ආණ්ඩුව යටතේ නොවුණු බොහෝ දේවල් කරන්න පටන් අරගෙනයි තියෙන්නේ. යහපාලනේ හොඳයි ගමන ටිකක් හෙමින් කියලයි කියන්න තියෙන්නේ.
ප්‍රශ්නය - මැතිවරණ සමයේ පොරොන්දු වුණේ දින සිය ඇතුළත බොහෝ දෑ කිරීමටයි. දැන් දින සියයටත් ළඟයි. තවම ඒ දේවල් ඉටු වෙලා නැත්තේ ඇයි?
පිළිතුර - දින සියයක් ඇතුළත කරන්නට පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ව්‍යවස්ථා සංශෝධන කරනවා කියන එක ලේසි පහසු නැහැ. තුනෙන් දෙකේ බලයකුත් අවශ්‍යයි. ක්ෂණික නූඩ්ල්ස් වගේ කරන්න බැහැ. ඇත්ත කතන්දරේ ඒකයි.   අවුරුදු ගණනාවක් තිස්සේ කරගන්න බැරි දේවල් කරලා තියෙනවා. ඖෂධ පනත ගෙනාවා. ඉතිරි දේවලුත් වෙයි.
ප්‍රශ්නය - මැතිවරණ කාලයේ හොරුන් ගැන චෝදනා කළත් තවම ඔවුන්ට පියවර නොගත්තේ ඇයි?
පිළිතුර - මමත් එහෙම කිව්වා. සරණ ගුණවර්ධන හිටපු ඇමැතිවරයා පසුගිය ආණ්ඩු කාලයේ අත්අඩංගුවට ගෙන එක දවසක් හරි කූඩුවේ දානවා කියන එක හීනයක්. දැන් ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා. තවත් බොහෝ දෙනකු සම්බන්ධයෙන් විමර්ශන කරගෙන යනවා. එහෙම එකපාරට අල්ලන්න බැහැ. විමර්ශන පවත්වා අත්අඩංගුවට ගත යුතුයි. මම බලාපොරොත්තු වෙනවා හොරු සියලු දෙනා අල්ලනවා වගේම ඊළඟ මැතිවරණයෙදී ඔවුනට ඡන්දය ඉල්ලන්න ටිකට් එක දෙන්නේ නැති වෙයි කියලා.
ප්‍රශ්නය - විපක්ෂයේ ඉන්නෙත් දැන් ශ්‍රීලංකා නිදහස් පක්ෂෙ. ආණ්ඩුවෙත් සැලකියයුතු පිරිසක් ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. මේ ජාතික ආණ්ඩුව ගැන මොකක්ද ඔබේ අදහස?
පිළිතුර - අපට මොන දේ කරන්නත් තුනෙන් දෙකේ බලයක් අවශ්‍යයි. අපි හැමෝම දන්න දෙයක් තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පක්ෂයේ සභාපති ලෙස පත්වූවාට පිරිසක් තවම ඉන්නේ මහින්ද රාජපක්ෂ මහතා සමගයි. පක්ෂයක් විදියට ඡන්දයකට යන්න ඉන්නවා නම් පක්ෂය එකතු කරගෙන යන්න ඕනෑ. නැත්නම් පක්ෂය කැඩෙන්න පුළුවන්. කාගේවත් පෞද්ගලික න්‍යායපත්‍රවලට අනුව පක්ෂයක් ඉස්සරහට ගෙනි යන්න බැහැ. ලංකාව කියන්නේ පොඩි රටක්. ගොඩක් ජාතින් ඉන්න, ගොඩක් ආගම් තියෙන විශාල රටක් වන ඉන්දියාවට වගේ ජාතික ආණ්ඩුවක් ගැලපෙනවා. ලංකාවට එය ගැලපෙනවා ද කියා ප්‍රශ්න තියෙනවා. නමුත් මේ දේශපාලන ක්‍රමය, ආර්ථිකය හදන්න නම් ජාතික ආණ්ඩුවකට යන්න වෙනවා.
ප්‍රශ්නය - පහුගිය ආණ්ඩුවට මිනිස්සු වැඩිපුර බැන්නේ ඇමැති මණ්ඩලය වැඩියි කියලා. ඒ දේමයි නේද දැනුත් වෙලා තියෙන්නේ?
පිළිතුර - ඔව් ඒකත් මං පිළිගන්නවා. ඇමැති මණ්ඩලය නම් වැඩියි තමයි. ඇමැති මන්ඩලය පත් කරන්න මූලික වුණේ කවුද, සමහර උදවිය පත්කළේ කොහමද කියා මම නම් දන්නේ නෑ. සමහර උදවිය ගත්ත එක ගැන නම් මමත් පෞද්ගලිකව කැමති නෑ. ජනතාවට ඉතා පිළිකුල් වුණු, වේදිකාවල පිළිකුල් තකා කියපු අයටත් ඇමැතිකම් දී තිබුණා. ඒ කොහොම වුණත් ජනාධිපතිතුමාගේ හා අගමැති තුමාගේ මේ අවස්ථාවේ අරමුණ ව්‍යවස්ථා සංශෝධන සඳහා අවශ්‍ය බලය ලබා ගැනීමයි. ඒ සඳහා අපට උදව් කරන්නේ කවුද ඔවුන්ගේ සහාය ලබා ගත යුතුයි. ජනාධිපතිතුමාගේ පක්ෂය වෙනම එකක්, අගමැතිතුමාගේ පක්ෂය වෙනම එකක්. මේ වෙලාවේ ජනාධිපති ඉන්න තත්ත්වය තේරුම් ගත යුතුයි. ජනාධිපතිතුමා කිව්වා හිටපු ජනාධිපතිතුමා පක්ෂයේ බලය දුන්නා නම් වැඩකරගෙන යන්න ඉඩ දිය යුතුයි කියලා. එහෙම ඉඩ දෙන බවක් අපට පෙනෙන්නේ නෑ. බැරිවෙලාවත් අපි පරාජය වෙලා ඔවුන් දිනුවා නම් ඔය නුගේගොඩ, නුවර, රත්නපුර වගේ රැලි අපට පවත්වන්න දෙයිද? ඒකනේ ඇත්ත කතන්දරේ. මොනතරම් නිදහසක්, ප්‍රජාතන්ත්‍රවාදයක් පැරදුණු පුද්ගලයාට දැන් තියෙනවද. ඡන්දය දවසේ වුණු සිදුවීම රටේ හැමෝම දන්නවා. එහෙම තියෙද්දිත් ජයග්‍රහණය කළ ජනපතිට වැඩ කරගෙන යන්න ඉඩ නොදෙන එක ප්‍රශ්නයක්. දේශපාලන අනාතයන්ට කර ගන්නට දෙයක් නැති තැන මහින්ද රාජපක්ෂ කියන පුද්ගලයා ඉස්සරහට දාලා ඔවුන්ගේ දේශපාලනය හදා ගත්ත උත්සාහ කරනවා.
ප්‍රශ්නය - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් මහින්ද රාජපක්ෂ නැවත දේශපාලනයට ගේන්න වලිකනවා. කොටසක් ඊට එරෙහිව විවිද දෑ කරනවා. ඔබ ඉන්නේ කොතනද?
පිළිතුර - ඕනම පුද්ගලයකුට කාලා කාලා ඇති වෙන්න එපායෑ. අවුරුදු නවයක් දහයක් කියන්නේ ජනාධිපති කෙනකුට රට හදන්න හෝ තමන් හැදෙන්න හෝ හොදටම ඇති. මේ රටේ කිසිම ජනාධිපති කෙනෙක් දෙවරකට වඩා ජනාධිපති වෙලා නෑ. ඒක තේරුම් ගන්න බැරි කමයි තියෙන ප්‍රශ්නය. මොනවා වුණත් මම නම් විශ්වාස කරන්නේ නෑ ජනාධිපති වගේ ලොකු තැනක ඉඳලා පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් වෙන්න තරම් අවශ්‍යතාවක් ඇති කියලා. නිදහසේ පොතක් කියවගෙන, සැනසිල්ලේ ගමට වෙලා, කාලා බීලා සංතෝෂෙන් ඉන්න පුළුවන් කම තියෙද්දි නැවත එයි කියා හිතන්නනේ නෑ. එතුමත් ඉතින් පව්. දේශපාලන අනාතයෝ එතුමන්ව පාවිච්චි කරනවා.
ප්‍රශ්නය - ඡන්දේ කාලේ ඔබ කොලොන්නාවේ කුඩු ගැන කතා කළා. දැන් කොලොන්නාවේ කුඩු නැද්ද?
පිළිතුර - දැන් ගොඩක් දුරට සීමා වෙලා තියෙනවා. ගොඩන් දුරට එළියේ විකුණන්නේ නෑ. කුඩු අල්ලනවා. යහ පාලනේ පටන් ගත්තට පස්සේ කුඩු විකුණන අය එළියට බහින්න බයයි. ජනාධිපති, අගමැති යන තැන්වලට ගිහින් පින්තූරවලට ඉඳලා සමහරු පෙන්නන්න උත්සාහ කරනවා අපි මේ රජයේත් ආරක්ෂිතයි කියලා. එහෙම නැහැ. ජනාධිපතිතුමාට කුඩුකාරයෝ පෙන්න බෑ. නීතිය ඉක්මණින් ක්‍රියාත්මක වෙයි කියා බලාපොරොත්තු වෙනවා.
ප්‍රශ්නය - පියාගේ ඝාතනය අවස්ථාවේ ශ්‍රීලනිපයේ කවුද ඔබ සමඟ හිටියේ?
පිළිතුර - මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතුමා හිටියා, රාජිත සේනාරත්න, සුසිල් ප්‍රේමජයන්ත, දිනේෂ්ගුණවර්ධන, වාසුදේව නානායක්කාර යන ඇමතිවරුන් ඇතුළු බොහෝ දෙනෙක් හිටියා. සුසිල් ප්‍රේමජයන්ත මහත්මයයි, මෛත්‍රීපාල සිරිසේන මහත්මයයි මං වෙනුවෙන් කතා කරනවා කියා හිටපු ජනාධිපතිතුමා ගොඩක් දොස් කියා තිබුණා.
ප්‍රශ්නය - ඔබේ පියාගේ මළගෙදර පැමිණි අවස්ථාවේ හිටපු ජනපතිට රාජපක්ෂට ඔබේ නිවසේ සිටි පිරිසෙන් විරෝධය එල්ල වුණු බව කියන්නේ ඇත්තද?
පිළිතුර - ඔව්. හිටපු ජනාධිපතිතුමා ආවාම මගේ ගෙදර හිටපු සමහර කට්ටිය හූ කිව්වා හෝ මොනවා හෝ කිව්වා. මම එච්චර කල්පනාවක නොවයි හිටියේ. එතුමාට තාත්තාගේ දේහයට වදින්න මතකයක් තිබුණෙත් නෑ ඒ වෙච්ච ෂොක් එකට. මිනිස්සු කෑගහයි කියා එතුමා බලාපොරොත්තු වුණේ නෑ. දැන් ඇද්ද කර ගත්තා හරි ඕවගේ දෙයක් කිව්වා. එතකොට එතුමාට තරහ ගිහින් ඇහුවා ‘මම ද මැරුවේ?‘ කියලා.
ප්‍රශ්නය - ඔබ මෛත්‍රීපිලට එක් වෙද්දී කවුද බලපෑම් කළේ?
පිළිතුර - බලපෑම් කළා කියන්නේ නොකියා කිව්වා. නාමල් රාජපක්ෂ කිව්වා ඔයා ගියොත් තාත්තාගේ නඩුවේ වාසිය යන්නේ දුමින්ද සිල්වට කියලා. කොහොමත් ඒ පැත්තටනේ වාසිය ගිහින් තිබුණේ. ජනාධිපතිතුමා කිහිප විටත් අපේ අම්මට කතා කර තිබුණා. එතුමාගේ බිරිඳ අහලා තිබුණා.
ප්‍රශ්නය - ඔබ මෛත්‍රීපිලට යන දවසේ එය වළක්වන්න ඔබේ නිවසට කවුද ආවේ?
පිළිතුර - වළක්වන්න කියන්නේ බල කරන්නේ නෙමේ තෙල් සංස්ථාවේ  සභාපතිගේ බිරිඳ එහෙම ඇවිත් යන්නේ නැතිව හිටියා. ඩීඅයිජීලා ටිකක් හිටියා.  මාධ්‍ය සාකච්ඡාවට එන්න කියලා චන්ද්‍රිකා මැඩම්ට කතා කරලා මං ලෑස්ති වෙලා හිටියා යන්න විදියක් නැතුව. මාව වලක්වාගෙන ඔවුන් කියව කියව හිටියා යන්න දෙන්නේ නැතුව. තේ එහෙමත් බීලා ඒත් යන්නෙම නැතුව හිටියා. යන්නෙම නැතිව ඉන්නි හරි අංකල් එහෙනම් හම්බෙමු කියලා මං වැන්දා. ඊට පස්සේ ඔවුන් ගියා. මං ආවා.
ප්‍රශ්නය - එදා ඔබ ආණ්ඩුවෙන් එළියට ආවේ හිටපු ජනපතිනියගේ ඉල්ලීමක් උඩ ද, එජාපයේ ඉල්ලීමක් මතද?
පිළිතුර - කවුරුත් ඉල්ලීම් කළේ නෑ. මෛත්‍රීපාල සිරිසේන මහතා එලියට බැස්සට පස්සේ ඒක අපට හරි ෂොක් එකක්. හැබැයි කතා කරන විදියෙන් තේරුණා එතුමා තමයි එන්න ඉන්නේ කියලා. අරලියගහ මන්දිරයේ තිබුණා හිටපු ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් සංවිධායකවරුන්ගේ රැස්වීමක්. ජනාධිපතිවරණයට එතුමා මෙවරත් ඉදිරිපත් වන බව කිව්වා. ටික වෙලාවක් ගිහින් තමයි කට්ටිය අත්පුඩි ගැහුවේ. ලොකු උද්‍යෝගයකින් නොවෙයි අත්පුඩි ගැහුවේ. එවිට රාජිත ඇමතිතුමා කනට කරලා කිව්වා දුව 2010 හිටියේ නැහැනේ. 2010 මෙතුමා ඉල්ලනවා කිව්වාම සන්තෝසෙට සමහරු හිටියේ මේස උඩ කිව්වා. ඔයාට පේනවා නේද මෙතන ගොඩක් අය කැමැති නෑ කියා ඇමැතිතුමා කිව්වා. මං කිව්වා මොනා කරන්නට අපට වෙන කවුරුත් නැහැනේ කියලා. එයා කනට කරලා කිව්වා කවුරු හරි එයි බලන්නකෝ කියලා. ජනාධිපතිතුමා සෞඛ්‍ය ඇමැති ලෙස ඉන්නි මට ප්‍රශ්නයක් ආවහම මං වෙලාවක් අරගෙන අමාත්‍යංශයට ගිහින් කියවා කියව ඉන්නවා. මං උපදෙස් ගන්නවා. මං කියන ඒවා අහගෙන ඉදලා කියනවා දුව ඕවා මට කිව්වට වෙන කාටවත් කියන්න එපා කියලා. මං හැම දෙයක්ම කියන්නේ එතුමාට සහ රාජිත ඇමතිතුමාට. එතුමා දවසක් මට කිව්වා තමුන්ගේ විමුක්ති තමුන් හදා ගන්න ඕනෑ කියලා.
ප්‍රශ්නය - ප්‍රසන්න සෝලංගආරච්චි සභාපති සමඟ අමනාපයක් තිබෙන බව කියන්නේ ඇත්තද?
පිළිතුර - නැහැ. ප්‍රසන්න අයියා තමයි තාත්තාගේ ලොකු පුතා විදියට සැලකුවේ. මගේ ලොකු අයියා වගේ හිටියේ. එතුමාගේ බිරිය මගේ තාත්තිගේ හොදම යාළුවාගේ බිරිය. අක්කයි අයියයි වෙනුවෙන් තාත්තා ගොඩක් දේවල් කරලා තියෙනවා. ටික කාලයක් යනකොට අපි දෙන්නව බිඳවන්න ගොඩක් අය දෙන්නට කේලම් කිව්වා. ඔහු මගෙන් ඒවා ගැන ඇහුවෙත් නෑ. මං අහන්න ගියෙත් නෑ. ගොඩක් අය හිතන්න ඇති අපි දෙන්නා එකතු වුණොත් කොලොන්නාව ඇතුළේ ලොකු දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා. මං බලාපොරොත්තු වුණා ඔහු නඩුවට එයි කියලා. මට දැනුයි තේරෙන්නේ ඔහුට ප්‍රශ්න තිබුණු බව. ඔහු සභාපති කෙනෙක්. යම් යම් සීමාවන් බාධාවන් තියෙන්න ඇති. මං දේශපාලනය කළේ නෑ ඒ වෙනකොට. අපි විවෘතව කතා නොකළ නිසා දුරස් බවක් ඇති වුණා. ඔහු හත් වැනි දා මෛත්‍රීපිලට ආවා. මං අට වැනි දා ආවා. ඉන් පස්සේ තමයි අපි තේරුම් ගත්තේ. දැන් අපි පරණ දේවල් අමතක කරලා ඉතා හොදින් ඉන්නවා. ඔහු හිත හොද කෙනෙක්.
ප්‍රශ්නය - බස්නාහිර මහ ඇමැති ධුරය වෙනස් කරන්න හදන බවට චෝදනාවක් තිබෙනවා. ඔබ පළාත් සභා මන්ත්‍රීවරියක් ලෙස මොකද හිතන්නේ ඒ ගැන?
පිළිතුර - ඕක මගෙන් ගොඩක් අය අහනවා. මම ශ්‍රීලනිපයේ නිසා මං කැමති නෑ මහ ඇමැතිකම යූඇන්පියට යනවාට. ප්‍රසන්න ඇමතිතුමා මේ වෙලාවේ කරන දේවල් ගැන ප්‍රශ්නයක් තියෙනවා. දැන් ජනාධිපති, පක්ෂයේ නායක සහ සන්ධානයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා. ඔවුන් කලින් පක්ෂයේ නායකයාට වැඩ කළා නම් දැනුත් දැන් නායකයාට වැඩ කළ හැකියි. මේ කරන වැඩෙන් පක්ෂය දෙකට කැඩෙයි. මහින්ද රාජපක්ෂ මහත්මයාට සන්ධානෙන් ඡන්දය ඉල්ලන්න ඕනෑ නම් ඒත් ටිකට් එක දෙන්න ඕන මෛත්‍රීපාල ජනාධිපතිතුමානේ.
ප්‍රශ්නය - බස්නාහිර පළාත් සභා ඡන්දයේ දි මනාප හොරකමක් වූ බව කියන්නේ ඇත්තද?
පිළිතුර - එහෙම කතාවක් නම් මටත් කිව්වා. මං දන්නේ නෑ ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියලා. මනාප ගණන් කරගෙන යද්දී දවල් එතැන හිටපු මන්ත්‍රී කෙනෙක් ඇවිත් කිව්වා ඔයාට දෙකයි හැට ගණනක් තියෙනවා කියලා. දෙවැනියා වුණු ගම්මන්පිල මහත්මයා කිව්වා ඔයා මට වඩා ලක්ෂයක් ඉස්සරහෙන් ඉන්නේ කියලා. ගම්පහ කියන්නේ කොළඹට වඩා ලොකු දිස්ත්‍රික්කයක්. ගම්පහ දීලා පැය තුන හතරකට පස්සේ කොළඹ ප්‍රතිඵලය දුන්නේ. රෑ වෙනකොට දෙකයි ගණනක් තිබුණු ගණන එකයි තිස් ගණනකට බැස්සා.
ප්‍රශ්නය - කොළඹින් වැඩිම මනාප ගත් ඔබට ඇමැතිකමක්වත් නොලැබීම ගැන කණගාටුවක් තිබෙනවාද?
පිළිතුර - නෑ නෑ. මං ඒ දේවල් බලාපොරොත්තු වුණේ නෑ.
ප්‍රශ්නය - ශ්‍රීලනිපයේ දෙපිරිසක් අතර ගැටුමකින් පසු ඔබේ පියා මිය යෑම ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පරීක්ෂණයක් කළාද?
පිළිතුර - සිද්ධියට සම්බන්ධ පුද්ගලයා රාජපක්ෂ පවුල සමග ඉතා හොදින් සිටි නිසා ඒ කාලේ මොනවත් කරන්නේ නැහැනේ. දැන් හරි සිදු කළ යුතුයි. ඔහු ගැන විතරක් නොවෙයි අනිත් අය ගැනත් කළ යුතුයි. බත්තරමුල්ලේ රැස්වීමෙන් එළියට බහිද්දි මගේ වයසේ දුවලා ඉන්න පිරිස් අපිට කැත විදියට බැන්නා. ජනාධිපතිතුමාටත් බැන්නා. මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ කටක් අරින්න බැරුව බයේ හිටියේ. දැන් පේනවනේ ප්‍රජාතන්ත්‍රවාදය. පක්ෂෙ ඇතුළේ වැරදි වැඩ කරන සියලු දෙනාට විනය පරීක්ෂණ කළ යුතුයි. ඡන්දෙකදි ජයග්‍රහණයකට මහන්සි වෙන්නේ නැතුව පක්ෂෙ ඇතුළේ ඇන කොටා ගන්න එක කණගාටුදායක කාරණයක්.
ප්‍රශ්නය - ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඔබ ඉදිරිපත් වෙනවාද?
පිළිතුර - ඉදිරිපත්වීමේ උවමනාවක් තියෙනවා. ඔක්කොටම කලින් බලන්න ඕනෑ කවද්ද විසුරුවන්නේ කියලා.
ප්‍රශ්නය - ඔබ කලකිරීමකින් ඉන්න නිසා දේශපාලනයෙන් ඉවත් වෙනවා හෝ පක්ෂ මාරු කරන බව සමහරු කියනවා.?
පිළිතුර - කලකිරෙන අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. එස් බී දිසානායක මහතාට ඇමැතිකමක් දුන්නාම මට කලකිරීමක් ඇති වුණා. එතුමා කිව්වේ මාව නිරුවත් කරනවා කියලා නොවයි. හිටපු ජනාධිපතිනියක්වූ චන්ද්‍රිකා මහත්මිය නිරුවත් කරනවා කියලයි කිව්වේ. එතුමිය වෙනුවෙන් මං කතා කළා. මං තමයි රූපවාහිනී දැන්වීම්වල හිටියේ. මිනිස්සුන්ට මතක මට ඒ වෙනුවෙන් කළ කතාව. මිනිස්සු මගෙන් අහන්නේ මේකේ තේරුම මොකක්ද කියලා. අපිට නොතේරෙන ඔවුන්ට තේරෙන දේශපාලන කරණාවක් ඇති. මං සාමාන්‍ය මිනිස්සු සමග ඉන්න කෙනෙක් විදියට, දේශපාලනයට නවකයෙක් විදියට මට තේරෙන විදියට ඔහුට දුන්නු එක වැරදි. කාන්තාවන්ට එහෙම කතා කරන කෙනකුට පාර්ලිමේන්තුවට එන්න අවස්ථාවවත් නොදිය යුතුයි. ඕවගේ හේතු නිසා කළකිරීමක් තිබ්බා. අනිත් එක මේ පරක්කුව. මාව මරණවා කියද්දී මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ වගේ අය හිටපු ආණ්ඩුවකින් එළියට බැස්ස බය මේ ආණ්ඩුව ඇතුළේ වරදක් වෙනවා නම් කතා කරන්න බැරි කමක් නෑ. දැන් අපට හඩක් තියෙනවා. දේශපාලනයෙන් අයින් වීමේ උවමනාවක් නෑ. පක්ෂ මාරු කිරීමේ උවමනාවකුත් නෑ.
ප්‍රශ්නය - ඔබට පෙම්වතෙක් ඉන්නවද?
පිළිතුර - නැහැ පෙම්වතෙක් නැහැ.
ප්‍රශ්නය - ෆේස්බුක්හි පෙම්වතෙක් සිටින බව දාලා මොකද වුණේ?
පිළිතුර - අයියෝ.. ඒකට ඉතින් මගේ හොදම යාළුවා තමයි අල්ල ගන්න ඕන. එයා ගෑනු ළමයෙක් එක්ක යාළු වුණා. මං කිව්වා ඔයාට ගට්ස් තියනවා නම් ෆේස්බුක් එකේ දාන්න කියලා. හරි මං දාන්නං ඔයත් එහෙනම් දාන්න කිව්වා. නිකන් කිව්වේ. මං එච්චර හිතුවේ නෑ. මාත් දාලා ඉක්මනින් අයින් කළා. ඒ ටිකට එක වෙබ්සයිට් එකකින් එය ෆොටෝ අරගෙන මං රංජන් රාමනායක මහත්මයා බදින්න ඉන්නා බව දාලා තිබුණා. එතුමා මගේ තාත්තිගේ හොදම යාළුවෙක්. මගේ හිටියා නම් පනස් නවයක්. එතුමා තාත්තිට වඩා අවුරුදු නවයයි බාල. එයා පොඩි කාලේ මාව වඩාගෙන පින්තූරෙකුත් මං ගාව තියෙනවා. එහෙම කිසිම සම්බන්ධයක් නෑ. දේශපාලනේ කරද්දි පෙම්වතෙක් ඉන්න එක හරි කරදරයක්. මට නොවේ ඒ පුද්ගලයාට. දැන් මට 27ක්. අවුරුදු 30දි වගේ හොද කෙනෙක් හම්බුණොත් මං කසාද බඳිනවා.
ප්‍රශ්නය - අවසන් වශයෙන් මොනවද කියන්න තියෙන්නේ?
පිළිතුර - දැන් බොහෝ දෙනකු අහනවා යහපාලනේ කියා අපි රැවටුණාද කියලා. නෑ රැවටුනේ නෑ. කොහොමවත්ම පෙරලන්න බැහැ කියපු ආණ්ඩුවක් අපි පෙරළුවා. ගහලා හරි ගන්නවා, කොහොම හරි දිනනවා කිව්වා ආණ්ඩුවක් පැරැද්දුවා. උඩ පුටු වෙනස් වුණාට යට පුටුවල තවමත් ඉන්නේ මහින්ද රාජපක්ෂට ගැතිකම් කරන පුද්ගලයන් නම් වැඩක් නෑ. මම ජනතාවට කියනවා පොඩ්ඩක් අපි ඉවසලා ඉමු. ක්ෂණික නූල්ඩ්ස් වගේ මේ දේවල් වෙන්නේ නෑ. අවුරුදු නවයක් තිස්සේ වුණු වැරදියි මේ දින සියයනේ වෙනස් කරන්න හදන්නේ. මට ආදරය කරන නොකරන සියලු දෙනාට මං කියන්නේ මං පොදු කාරණයක් සඳහායි ඉදිරියට ගියේ. එක තැනකදි මට ඇමුනා කියනවා පෞද්ගලික කාරණාවක් වෙනුවෙන් අපට රජෙක් අහිමි කළ ඔබට සාප වේවා කියලා. අපට රජකේ අවශ්‍ය නැහැ. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. තවමත් කුරහන් සාටකයේ මායාවට රැවටිලා මහරජානෝ සාදු කියන කට්ටිය ඉන්නවා නම් ඔවුන්ට කියන්න තියෙන්නේ හෙට අනිද්දා කුරහන් සාටකයක් ඇදන් ඉන්න කෙනෙක් අත්අඩංගුවට ගත්තොත් පසු තැවෙන්න වෙයි අපි කාටද මේ වැඳලා තියෙන්නේ කියලා.
Next
Newer Post
Previous
This is the last post.

Post a Comment

 
Top