රගර් ක්‍රීඩක
වසීම් තාජුදීන්ගේ මරණය කාරය ගිනි ගැනීමෙන් ස්වභාවිකව වූ මරණයක් නොව මිනීමැරුමක් බව
අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව සඳුදා (27) අධිකරණයට දැනුම් දුන්නේය.
ඔහු මරණයට පත්
වී ඇත්තේ ගිනි ගැනීමෙන් නොවන දත් කඩා, ඉළ ඇට බිඳ,
පාදයේ කලවා පෙදෙසේ
අස්ථි බිඳ, උල් ආයුධයකින් බෙල්ලට ඇන, මොට ආයුධයකින් පහරදී මරණයට පත් කර ඇති බවත් රහස් පොලිසිය දැන්වීය.
වසීම්ගේ මරණය ඝාතනයක් බවට රහස් පොලිසිය ප්‍රකාශයට පත් කළේ මරණයෙන් වසර
තුනකට පමණ පසුය. රාජපක්ෂ රජය සමයේ එය රිය අනතුරකි.
මේ සටහන වසීම්ගේ මරණය ගැනයි.
පසුගිය වසර කිහිපය තුළ
ආන්දෝලනාත්මක රිය අනතුරු කිහිපයක් සිදු විය. කැලණිය හිටපු ප්‍රාදේශීය සභාපතිට මරු
කැඳවූ අනතුර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීපති සූරියආරච්චිට මරු කැඳවූ අනතුර,
රගර් ක්‍රිඩක වසීම් තාජුඩීන්ට මරු කැඳවූ අනතුර සහ සරසවි සිසුන් දෙදෙනකුට මරු කැඳවූ
ඉඹුල්ගොඩ අනතුර ඒ අතර ප්‍රධාන තැනක් ගනියි.
එලෙස රිය අනතුරකට ලඝු
කැරුණු අනතුරු දෙකක් ගැන නැවත විමර්ශන කරන්නැයි පසුගිය ජනවාරි අට වැනි දා
රාජපක්ෂවරුන්ගේ පරාජයත් සමඟ ආ යහපාලන ආණ්ඩුවට ඉල්ලීම් ලැබිණි. ඉන් පළමු වැන්න නම්
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනයට සහාය පළ කරමින් නුවර සිට කොළඹට සංවිධානය
කළ අන්තරයේ පාගමනේ ඉදිරි පෙළ සාමාජිකයන් දෙදෙනකු වූ ජනක බණ්ඩාර ඒකනායක හා සිසිත ප්‍රියංකර
සිල්වාගේ මරණයයි. එනෙක නම් රගර් ක්‍රීඩක වසීම්ගේ මරණයයි.
වසීම්
තාජුඩීන් කවුද?
ඔහු නමින් මොහොමඩ්
වසීම් තාජුදීන්ය. පදිංචිව සිටියේ වැල්ලවත්ත මුරුගන් පාරේ නිවසකය. හැව්ලොක් ක්‍රීඩා
සමාජයේ ඉදිරි පෙළ රගර් ක්‍රීඩකයකු වූ වසීම් ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයයේ ආදි
සිසුවෙකි.
2008 දී ශ්‍රී ලංකා
ජාතික රගර් කණ්ඩායමේ සාමාජිකයකු ලෙස සම්බන්ධ වීමට වසීම්ට අවකාශය හිමි විය. එතැන්
සිට ඔහු කැපී පෙනෙන චරිතයක් විය. එම කණ්ඩායමේ උප නායකයා වීමේ වාසනාව ද වසීම්ට
ලැබිණි. 2009 වසරේ දී ජනප්‍රියම රගර් ක්‍රීඩකයාට හිමි සම්මානයට ලැබුණේ ද ඔහුටය.
මීට කළකට පෙර ඔහුගේ
රගර් පුහුණුකරුවකු ඔහු ගැන මාධ්‍යයට කියා තිබුණේ මෙවැනි අදහසකි.
‘‘2001 ඉඳන් 2003
වෙනකම් ශාන්ත තෝමස් විද්‍යාලයයේ රගර් සෙල්ලම් කර 2004 විතර හැව්ලොක් ක්‍රීඩා
සමාජයේ සෙල්ලම් කරන්න ආවා. ඔහු 2009 හැව්ලොක් ක්‍රීඩා සමාජයේ නායකයා සෙල කටයුතු
කළා. ක්‍රීඩකයකු ලෙස ඔහු ඉදිරියෙන්ම හිටියා. ඔහු හැමෝම එක්ක හොඳින් හිටියා. ඔහු
ලංකාවේ කොඩියට හරි ආදරෙයි. තමන්ගේ රට ගැන
කැපවීමෙන් සෙල්ලම් කළා. ඔහුගේ දණහිසේ පොඩි ආබාධයක් තිබුණා. ඒ නිසා වසර දෙකක් පමණ
සෙල්ලම් කරන්න බැරිවුණා. ‘‘
2012 මැයි 16 වැනි දා
සන්ද්‍යාවේ වසීම් සිය නිවසින් පිටත් වූයේ නාරාහේන්පිට මිතුරකුගේ නිවසක සාදයකට
සහභාගී වන බව කියමිනි.
මැයි 17 වැනි දා
උදෑසනම කණ වැකුණේ දුක් බර පුවතකි. ඒ අධික වේගයෙන් පැමිණි කාරයක් වේගය පාලනය කර ගත
නොහැකිව නාරාහේන්පිට තාප්පයක හැපී ගිනිගත්
පුවතකි.
එහි රියදුරු අසුනේ
සිටි පුද්ගලයා දැවී අගුරු වී තිබිනි. මුලින් ආරන්චි පැතිර ගියේ එහි සිටියේ
පෞද්ගලික ආයතනයක කලමනාකරුවෙකුගේ බවයි. පසුව ආරංචි වූයේ එම සිරුර අන් කාගේවත් නොව
සුප්‍රසිද්ධ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ බවයි.
අනතුර
නාරාහේන්පිට: මුදල්
පසුම්බිය කිරුලපොණ
කිසිදු පරීක්ෂණයක්
නැතිව පොලිසිය එක හෙළා කීවේ මෙය රිය අනතුරකින් සිදුවූ මරණයක් බවයි. වේගය පාලනය කර
ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැණ තාප්පයක හැපී කාරය ගිනි ගෙන මරණය සිදුවී ඇති බවට
පොලිසිය කීවේය. ඉන් එහා විමර්ශන සිදු නොවිණි.
එම මරණය සැක සහිත බවට
වෙබ් අඩවි වාර්තා කරද්දී, මරණය සැක බව බොහෝ දෙනකු කියද්දී විමර්ශන කිරීමට පොලිසියි
පෙළඹුනේ නැත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකුගේ මැදිහත්වීම නිසා බව බොහෝ දෙනෙක් කීහ.
එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියාට උපදෙස් ලැබී ඇත්තේ රාජපක්ෂ කෙනකුගෙන් බව ද කියති.
එම රිය අනතුරේ වැදගත්
කරුණු රැසකි. ඉන් පළමු වැන්න නම් තරමක්
පාළු ස්ථානයකට වන්නට ආසන්නයේ රිය අනතුර සිදු වීමයි. දෙවැන්න නම් ඔහු ගියේ
නාරාහේන්පිට සාදයකටය වීමත්, අනතුර සිදුවූයේ ද නාරහේන්පිට වීමත්ය. සාදය තිබුණැයි
කියන ස්ථානයේ සිට එම ස්ථානයට ඒමට වැඩි වේලාවක් ගත වන්නේ නැත. ඊළඟ කාරණය නම් කාරය
මාර්ගයෙන් ඉවතට පැණ තාප්පයේ හැපීමයි. පොලිසිය මුලින් මවා පෙන්වූ පරිදි එය මහා
විශාල අනතුරක් විය යුතුය. එසේ නම් අඩු තරමේ තාප්පයේ විශාල ප්‍රදේශයක් කැඩී යා
යුතුය. නමුත් එසේ වී නොතිබිණි. එවැනි අනතුරක දී මහා විශාල ශබ්දයක් ඇසිය යුතුය.
නමුත් එවැනි ශබ්දයක් ඇසුණු කෙනෙකු ද නැත. පොලිසිය මේ සියලු කාරණා මග හැර තිබිණි.
එනම් හිතා මතා යම් සිද්ධියක් වසන් වන අන්දමට විමර්ශන සිදු කර තිබිණි. පූර්ව නිගමන
මත පිහිටා පරීක්ෂණ සිදු කර තිබිණි.
අනිත් බරපතලම කාරණය
නම් මිය ගිය රගර් ක්‍රීඩක වසීම්ගේ මුදල් පසුම්බිය කිරුලපොණ පැත්තේ තිබී හමු වීමය. වසීම්
රිය අනතුරකින් මිය ගියේ නම් ඔහුගේ මුදල් පසුම්බිය තිබිය යුත්තේ ද ඔහුගේ වාහනයේහෝ
ඇද සිටි කලිසමේ සාක්කුවේ ය. නමුත් එය කිරුලපොණට ගියේ කෙසේද?
ඒ ගැන පොලිසිය විමර්ශන
සිදු නොකළේ ඇතැම් විට කිසිවකුගේ බලපෑමක් නිසා විය හැකිය. රාජපක්ෂ රජය සමයේ
පොලිසියේ ඇතැම් දෑ පාලනය කළේ එන් කේ ඉලංගකෝන් පොලිස්පති නොව, නිල නොවන
පොලිස්පතිවරයෙක්ය. නීතීය හා සාමය අමාත්‍යංශයේ ලේකම් ලෙස මහින්ද බාලසූරිය පත්
කිරීමෙන් පසු මේ තත්ත්වය තවත් උඝ්‍ර විය. ඔවුන්ගේ කැරැට්ටුව මත පොලිසියට අවමාන
අවලාද ඇසීමට ද සිදුවූ අවස්ථා එමටය. කෙසේ වෙතත් රිය අනතුරක් සිදුවී යැයි කියන තැනට
කිලෝමීටර ගණනක් දුරින් වසීම්ගේ මුදල් පසුම්බිය හමුවීම ගැන විමර්ශන සිදු කැරුණේ
නැත.
සිද්ධිය වූ දිනට පසු
දින එනම් 2012 මැයි 18 වැනි දා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා
(එවකට) නියෝග කළේ සිද්ධිය ගැන විමර්ශන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
මුදල් පසුම්බිය එක්
තැනකත්, පිළිස්සුණු සිරුර තවත් තැනකත් තිබී හමුවීමත් සමඟ පොලිසිය කළ යුතුව තිබුණේ ස්ථාන
දෙක අතර සීසීටීවී පරීක්ෂා කිරීමය. එසේ වී නම් සැකකටයුතු කිසිවක් ගැන තොරතුරු සොයා
ගැනීමට ඇතැම් විට හැකියාව තිබිණි. එනමුත් පොලිසිය එය කළේ නැත.
ගින්නෙන්
බේරීමට වසීම් උත්සාහ නොකළාද?
වසීම් ගිය කාරය
සම්පූර්ණයෙන්ම ගිනි ගෙන දැවී තිබිණි. කෙතරම් දැවී තිබුණේ ද යත් වසීම් හදුනාගත
නොහැකි ලෙස අගුරු වන තුරු දැවී තිබිණි. එහි සිටියේ වසීම්ම බව හදුනා ගත්තේ ඔහුගේ
පාදයක ආබාධයක් නිසා යොදා තිබුණු යකඩ ආධාරකයක් නිසාය.
කාරය ගිනි ගැනීමට නම් අනතුර
වඩාත් විශාල විය යුතුය. වාහනය ගනි ගනිද්දී වසීම් ඉන් බේරීම උත්සාහ නොකළේ ඇයි දැයි
ඊළඟට ප්‍රශ්නයක් මතු වෙයි. සිය නොකමැත්තෙන් ගින්නකට හසු වන ඕනෑම අයකු ඉන් බේරීමට
උත්සාහ කරන බව අධිකරණ වෛද්‍ය මතයයි.
වසීම් යනු සාමාන්‍ය
පුද්ගලයකු නොව හොඳ දක්ෂ රගර් ක්‍රීඩකයෙකි. ඔහුගේ කාය ශක්තිය ද සාමාන්‍ය කෙනකුට වඩා
වැඩි විය යුතුය. ඔහු නින්දේ සිටිය ද කාරය හැපෙද්දී හෝ ඇහැරිය යුතුය. කාරයට පෙට්‍රල්
වත්කර ගිනි නොතිබ්බා නම්, ගින්න ස්වභාවිකව ඇති වූවා නම් කාරය මුළුමනින්ම ගින්නෙන්
වැසීමට යම් වේලාවක් යා යුතුය. වසීම් වැනි දක්ෂ ක්‍රීඩකයකුට ගින්නෙන් බේරීමට
කාරයෙන් ඉවතට පැනීමට හෝ මොන යම් දෙයක් කිරීමට එම කාලය තරමක් ප්‍රමාණවත්ය.
කාරය ගිනි ගනිද්දී
වසීම් පණ පිටින් සිටියේ නම් ඔහු ඉන් බේරීමට කිසිවක් කළ යුතු නමුත් වසීම් අඟුරුවන
තුරු රියදුරු අසුන මතට වී සිටියේ ඇයි? එසේ නම් ගිනි ගත්තේ පණ පිටින් සිටි වසීම් ද?
එසේ නැතිනම් කිසිවකු විසින් ඝාතනය කැරුණු වසීම්ගේ මළ සිරුරද?
පෙණහලුවල
කාබන් මොනොක්සයිඩ් තිබුණා ද?
අධිකරණ වෛද්‍ය
පරීක්ෂණයේ දී මූලික වශයෙන්ම කෙනකු මරා පිළිස්සුවා ද, පිළිස්සීම නිසා මැරුණා යන්න
නිගමනය කළ හැකි එක් සාදකයකි කාබන් මොනොක්සයිඩ ශරීර ගත වීම. මූලික ලෙස පිළිස්සුණු මළ සිරුරක පෙනහළු පරීක්ෂා
කරද්දී කාබන් මොනොක් සයිඩ් හෝ අලු වැනි ද්‍රව්‍ය තිබුණා නම් ඔහු පණ පිටින්
පිළිස්සී ඇති බවටත්, එවැනි ද්‍රව්‍ය නැති නම් ගිනි ගන්නා අවස්ථාව වන විට ඔහු මිය
ගොස් සිටිය යුතු බවත් අධිකරණ වෛද්‍යවරු නිගමනය කරති.
අවුරුදු දෙක
හමාරකට පසු අධිකරණ වෛද්‍ය වාර්තාව එයි
මීට සතියකට පමණ පෙර
පොලිසිය කීවේ රගර් ක්‍රීඩක වසීම්ගේ අධිකරණ වෛද්‍ය වාර්තාව ආවේ වසර දෙක හමාරකට පමණ
පසු බවයි. එහි ඇති යම් යම් දත්ත අනුව වසීම්ගේ මරණය රිය අනතුරකින් සිදුවූවාදැයි සැක
සහිත බව පොලිසිය පවසයි. එම වාර්තාවේ ඇත්තේ මොනවා දැයි පොලිසිය නොකියයි.
අධිකරණ වෛද්‍ය පරීක්ෂණ
වාර්තාව එළියට නිකුත් කළේ වසර දෙක හමාරකට පසුද, නැති නම් පොලිසිය එය එළියට දැම්මේ
වසර දෙක හමාරකට පසු ද යන්න සැක සහිතය.
ඝාතනයට මුල
පෙම් පළහිලව්වක්?
පෙම් පලහිලව්වක් නිසා වසීම්
මරා දැමූ බව ඔහුගේ හිතමිත්‍රාදීහු කියති. ඔවුන් කියනුයේ මෙවැනි කතාවකි.
වසීම් යනු ශ්‍රී ලංකා
ජාතික ගර්බි කණ්ඩායමේ කැපී පෙනෙන තරුවක් බව මීට පෙර ද සඳහන් කළෙමු. ඔහුගේ
දක්ෂතාවන් නිසා රාජපක්ෂ පුතකු ඔහුගේ මිතුරකු බවට පත්වීමට වැඩි කාලයක් ගියේ නැත. එම
රාජපක්ෂ පුත්‍රයාගේ පෙම්වතිය වූයේ කලාවට සම්බන්ධ පවුලක කතකි. ඇය ප්‍රවීණ රංගණ
ශිල්පියකුගේ මිනිබිරියකි. එම දේශපාලන පුත්‍රයාට
අයත් නාලිකාවක ඉහළ තනතුරක් ද ඇය දැරුවාය.
වසීම් හා ඇය අතර පෙම්
පළහිලව්වක් ඇතිවී ඇතැයි කණ වැකුණු දේශපාලක පුත්‍රය වසීම් සමඟ දැඩි අමනාමපයකින්
සිටි බව කියති. රගර් පිටියේ බොහෝ දෙනකු එය හොඳින් දැන සිටියහ. ඒ ආරවුල දුර දිග
ගොස් වසීම් ඝාතනය වන්නට ඇතැයි තතු දත්තෝ කියති.
වසීම්ගේ මරණයෙන් පසු
ඇය රාජ්‍ය තාන්ත්‍රික රැකියාවක් සඳහා විදෙස් රටකට යැවිණි.
විමර්ශන රහස්
පොලිසියට
කෙසේ වෙතත් වසර දෙක
හමාකරට පසු වසීම්ගේ මරණය ගැන විමර්ශන පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා විසින් රහස්
පොලිසියට භාර දී ඇත. රහස් පොලිසිය දැන් නැවත මුල සිට එම විමර්ශන අරඹා ඇත.
දැනගන්නට ඇති පරිදි
වසීම් මරා දමා ඇත්තේ වද හිංසා ලබා දීය. ඊට නාවික හමුදාවේ පිරිසක් සහාය වූ බව ද
කියති.
වසීම් මරා දැමූ බව
දැන් හෙළි වී හමාරය. ඔහුට දස වද දුන් බව ද හෙළි වී හමාරය. දැන් ඇත්තේ එක දෙයකි.
වසීම් මරා දැමූවන් අත්අඩංගුවට ගැනීමයි.
හෙට අනිද්දා රාජපක්ෂ
පුතකුගේ අදට මාංචු වැටුණහොත් කිසිවකු පුදුම නොවන්න. කළබල ද නොවන්න...
Post a Comment