අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරීන් දෙදෙනකු ගම්පහ ඉඹුල්ගොඩදී රිය අනතුරකින් මිය ගිය බව කියන සිද්ධියේ මහේස්ත්‍රාත් පරීක්ෂණය ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේදී තවමත් සිදුවෙයි. සමාජයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් එම අනතුර සිදුවී ලබන සැප්තැම්බර 27 වැනිදාට තෙවසරක් සම්පූර්ණ වෙයි.
දිනය 2012 සැප්තැම්බර 27 වැනිදාය.
ඒ දිනවල සමාජයේ වැඩි කතා බහකට ලක්වූ සහ ප්‍රවෘත්ති මැවූ මාතෘකාව වූයේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනයයි.  වැටුප් වැඩිකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පැවැති වර්ජනයට සෙසු සමාජ සංවිධානවල සහාය ද ලැබුණු අතර ඔවුහු ගාල්ලේ සිට කොළඹට පාගමනක් ඇරැඹූහ. සැප්තැම්බර 24 වැනිදා ඇරැඹූ පාගමන 28 වැනිදා දහවල් වන විට කොළඹට ළඟා වීමට සැලැසුම් කර තිබිණි.
විශ්ව විද්‍යාල ආචාර්ය වරුනට සහාය පළ කරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරීන් ද පාගමනක් සංවිධානය කළේ පේරාදෙනියේ සිට කොළඹටය. සැප්තැම්බර 24 දින ඇරැඹි පාගමන අධියර කිහිපයක් ඔස්සේ ගමන් කළේ 28 වැනිදා කොළඹට පැමිණ ආචාර්යවරුන්ගේ රැලියට එක් වීමටය.
අන්තරේ ක්‍රියාකාරීන් දෙදෙනාගේ මරණය සිදු වුණැයි කියන දිනට පෙර දින (27) එම පෙළපාලිය නිට්ටඹුව දක්වා ගමන් කර තිබූ අතර එදිනට නියමිතව තිබුණේ කැලණිය බලා ගමන් කිරීමය.
කැලණිය සරසවියේ අවසන් වසර ශිෂ්‍ය ජානක බණ්ඩාර ඒකනායක සහ රුහුණු සරසවියේ පළමු වසර ශිෂ්‍ය සිසිත ප්‍රියංකර සිල්වා ද එම පෙළපාලියේ මුල් පෙලේ සංවිධායකයෝ වූහ.
මාතලේ කඹරව පදිංචි ජානක බණ්ඩාර ඒකනායක කැලණිය සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ලෙස ද කටයුතු කර තිබූ අතර කා අතරත් ඔහු ප්‍රසිද්ධව සිටියේ මාතලංයන නමිනි.
විශ්ව විද්‍යාලයට පැමණ කෙටි කලක් වුවත් මෝදර පදිංචි සිසිත ප්‍රියංකර ප්‍රියංකර සිල්වා ද කැපීපෙනන චරිතයක් වූයේ විශ්ව විද්‍යාල සිසුන්ගේ සටන් වලදී පරෙමුණ ගෙන ක්‍රියා කිරීම නිසාය. රුහුණු සරසවියේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ සිටි ඔහු ටොක්කායන නමින් මිතුරන් අතර ප්‍රසිද්ධව සිටියේය.
ආචාර්යවරුනට සහාය පළ කරන පෙළපාලියේ සංවිධාකයන් වූ දෙදෙනා ඉකුත් වසරේ සැප්තැම්බර 27 වැනිදා අලුයම ගම්පහ බණ්ඩාරවත්තේ නවාතැම්පොලේ සිට අලුයම දෙකට තුනට පමණ පිටව ගියේ  මුද්‍රණයට දී තිබූ අත්ප්‍රිකාවගයක් ගෙන ඒමට දෙල්කඳට යාම සඳහාය.
දෙල්කඳට ගිය මිතුරන්ගෙන් තොරතුරක් නැති තැන සෙසු සගයෝ පාන්දර පහට පමණ දුරකන ඇමතුම් දුන්නත් ඉන් ප්‍රතිචාරයක් නොලැබිණි. තම සගයන් දෙදෙනා අනතුරකින් මිය ගිය බව ඔවුනට ආරංචි වූයේ උදෑසන හතට අටට පමණය.
අනතුර සිදු වූ දින සවස අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරිහු මාධ්‍ය හමුවක් කැදවූ අතර මෙය සාමාන්‍ය රිය අනතුරක් නොව හිතා මතා සැලසුම් සහගතව කළ අනතුරක් බවට චෝදනා කළහ.

පසුදින උදෑසන 9.30 සිට 2.00 දක්වා ගම්පහ රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැති අතර විශේෂඥ අධිකරණ වෛද්‍ය එස් පී ඒ හේවගේ මහතා නිගමනය කළේ රිය අනතුරක් නිසා හිසට සිදුවූ තුවාල හේතුවෙන් දෙදෙනාගේ මරණය සිදුව ඇති බවයි.
ඩී එම් නීල් කුමාර ඒකනායක සහ ධම්මික බණ්ඩාර ඒකනායක මහත්වරු රෝහලට පැමණ ජානකගේ දේහය භාර ගත් අතර ධම්මිකා ප්‍රියදර්ශනී මහත්මිය සිසිතගේ දේහය භාර ගත්තාය.
අනතුර සැක සහිත බවට පොලිසියට පැමිණිලි ලැබුණු අතර ගම්පහ හිටපු මහේස්ත්‍රාත් (මේ වන විට අනුරාධපුර ළමා හා ත්‍රස්ත ක්‍රියා පිළිබඳ   විශේෂ අධිකරණයේ මහාධිකරණ විනිසුරු) ඛේමා ස්වර්ණාධිපති මහත්මිය ඉදිරියේ මරණය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය ඇරැඹිණි. එම මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී අට දෙනෙත් සාක්කි ඉදිරිපත් කළහ.
මියගිය සිසිත ප්‍රියංකර සිල්වාගේ නැන්දා බව කියන ධම්මිකා ප්‍රියදර්ශනී මහත්මිය ඇතුළු කිහිප දෙනෙක් සිද්ධිය වූ දින හිටපු මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ සාක්කි ලබා දී තිබුණු අතර ඔක්තෝබර තුන් වැනිදා නඩුව කැඳවූ අවස්ථාවේ දෙදෙනෙක් විවෘත අධිකරණයේ සාක්කි ලබා දුන්හ.
කැලණිය විශ්ව විද්‍යාලයයේ සේවකයකු වන නිට්ටඹුවේ පදිංචි නෝමන් ජයතිස්ස (54) මහතා සාක්කි දෙමින් පැවුසවේ සිද්ධිය වූ දින ඉඹුලගොඩ හන්දියේ මල් ශාලාවක හර්ස් එකක් නතර කර තිබෙනු දුටු බවයි.
මම උදේ 6.30ට විතර බස් එකේ යද්දී මේ අනතුර සිදුවුණු තැන වාහන තදබදයක් තිබුණා. මම දැක්කා පාර හරහා වාහනයක් නතර කර තිබෙනවා. මම හිතුවේ මේ කාර් එක අනතුරට ලක් වෙලා කියා. ඒත් ඒ පහුවෙද්දි දැක්කෙ ඒක මල්ශාලාවක හර්ස් එකක් කියලා. පැත්තකින් මා දැක්කා රෙද්දකින් වහලා තියන එකක්. මා හිතන්නේ ඒ මිය ගිය අයගේ සිරුරු වෙන්න ඇති කියා.
කැළණිය සරසවියේ අධ්‍යාපන ලැබූ කොළඹ කොච්චිකඩේ පදිංචි නිලාන් ප්‍රියදර්ශන ප්‍රණාන්දු (31) මහතා සාක්කි දෙමින් පැවසුවේ අනතුර දුටු බවට එතැනට ආ පුද්ගලයකු පැවසූ බවයි.
‘මියගිය ජානක බණ්ඩාර ඒකනායක කැලණිය විශ්ව විද්‍යාලයේ මගේ යාළුවෙක්. මේ සිද්ධිය වුණු දවසේ මට චින්තක කියලා යාළුවෙක් කතා කරලා අනතුර ගැන කිව්වා. මම ගම්පහ රෝහලට ඇවිත් මගේ යාළුවගේ සිරුර බලලා සිද්ධිය වුණු තැනට ගියා. නුවර සිට කොළඹ බලා යද්දි දකුණු පැත්තේ තමයි අනතුර වෙලා තිබුණේ. මට මේ අනතුර ගැන සැකයි.
මම නැවත වරක් එම ස්ථානයට ගියා. එතකොට වෙලාව11ත් 12ත් අතර ඇති. එතනට ත්‍රීවීල් එකක ආවා. එකේ හිටපු කෙනා කිව්වා එයා මේ අනතුර වෙන වෙලාවේ ඒ හරියේ හිටියා,මේ අනතුර දැක්කා කියලා. මගේ මිතුරා ගමන් කළ යතුරු පැදියත් එකක්කම ආපු මෝටර් රථයක් ඇවිල්ලා යතුරු පැදියට යන්න බැරි වෙන්න පාරේ හරහට දැම්මා කිව්වා. ඒ එක්කම දඩාස් ගාලා සද්දයක් ඇහුණු කිව්වා. එයා පොලීසියටවත් මේ ගැන දැනුම් දුන්නේ නෑ කියලත් කිව්වා. එම පුද්ගලයාගේ ත්‍රීරෝද රියේ අංකය අපි පොලීසියට දුන්නා.
ඇත්තටම ස්වාමීණි ඒ පුද්ගලයා ගැනත් ලොකු සැකයක් තියනවා. මොකද අනතුර දැකලා පොලිසියටවත් කියන්නේ නැතුව මග ඇරලා ගියපු පුද්ගලයා අයෙත් එතනට ඇවිදින් එහෙම කියයිද. ඒක ගැන ලොකු සැකයක් තියනවා. ‘
රිය අනතුරකින් මිය ගිය විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනාගේ මරණය ගැන සැකයක් පවතින්නේ යැයි ද, යතුරු පැදිය හැප්පුනැයි කියන විදුලි කණුවේ හානි සිදුවී ඇති ස්ථානයත්, යතුරු පැදියේ හානි සිදුවූ ස්ථානයත් අතර ගැටළු සහගත බවක් ඇතැයි ද,ඒ සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක් කැඳවිය යුතු යැයි ද, මියගිය තරුණයකු භාවිත කළ ජංගම දුරකතනය මෙතෙක් හමුවී නැතැයි අගතියට පත් වර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රජිකා සිල්වා මහත්මිය අධිකරණයට දැන්වූ අතර එම ඉල්ලීම පිළිගත් හිටපු මහේස්ත්‍රාත්වරිය රි කන්ස්ට්‍රක්ෂන්එකකට ගොස් රස පරීක්ෂණ වාර්තා කැදවන ලෙස නියෝග කළාය.

මහේස්ත්‍රාත්වරියගේ නියෝගය අනුව ඔක්තෝබර අට වැනිදා ඉඹුල්ගොඩට ගිය රජයේ රස පරීක්ෂක පැය එකහමාරක පමණ කාලයක් එම ස්ථානය පරීක්ෂා කළේය. යතුරුපැදිය ඉඹුල්ගොඩට නොගෙනේම ගැන අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් විරෝධය පළ කළ අතර රස පරීක්ෂක පැවසුවේ තමා වැරැල්ලවත්ත පොලිස් මුර පොලේදී යතුරු පැදිය පරීක්ෂා කළ බවයි.
යතුරුපැදිය අනතුරට ලක්වූ ස්ථානයට නොගෙනේම සම්බන්ධයෙන් නීතීඥ රාජිකා සිල්වා මහත්මිය අධිකරණයේ දීර්ඝ ලෙස කරුණු දැක්වූ අතර අනතුර ගැන සැකයක් පැණ නැගී ඇති අවස්ථාව එලෙස කටයුතු කිරීම මගින් සැකයට තවත් වැඩි වන බව ඇය පැවසුවාය.
මම රිකන්ස්ට්‍රක්ෂන් එකකට යන්නයිනේ කිව්වේ. ඇයි බයිසිකලය එතනට නොගෙනාවේ?‘ යනුවෙන් හිටපු මහේස්ත්‍රාත් ඛේමා ස්වර්ණාධිපති මහත්මිය පොලිසියෙන් විමසූ අතර එම අවස්ථාවේ ගම්පහ පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් ප්‍රියන්ත මහතා පැවසුවේ බයිසිකලය එම ස්ථානයට ගෙන ඒම අවශ්‍ය නොවන බව රසපරීක්ෂක පැවසූ බවයි.
මිය ගිය ජානක ඒකනායක සිසුවා භාවිත කළ බව කියන මෙතෙක් හමු නොවූ දුරකතනයේ අංක සම්බන්ධයෙන් වාර්තා කැදවන ලෙස ද මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළාය.
මිය ගිය ජානක බණ්ඩාර ඒකනායකගේ පියා වන නීල් කුමාර ඒකනායක මහතා එදින අධිකණයේ සාක්කි ලබා දෙමින් පැවසුවේ මෙය සැලසුම් සහගතව මිනීමැරුමක් දැයි සැක සහිත බවයි.
‘මගේ වැඩිමහල් දරුවා තමයි මියගියේ. තවත් දරුවෝ දෙදෙනෙක්මට ඉන්නවා.මියගිය පුතා ඉගෙන ගත්තේ කැලණිය විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ. පුතා නේවාසිකව හිටියේ කැලණිය සරසවිය අසලම තැනකයි.
සැප්තැම්බර් 27 වෙනිදා මම වැඩ කරන තැන උසස් නිලධාරියකු මට කිව්වා ගෙදර එක්කෙනෙකුට අසනීපයි කියලා ඉක්මණින් ගෙදර යන්න කියලා. මම නාවුලට ඇවිත් ගෙදරට කෝල් කරද්දි අඩනවා ඇහුනා. පොලීසියෙන් තමයි සිද්ධිය දැනුම් දීලා තියෙන්නේ.
මම ඊට පස්සේ ගම්පහ රෝහලට ආවා. සිද්දිය වුණු තැනටත් ගියා. එතන අනතුරක් වෙච්ච ලක්ෂණයක්යත් තිබුණේ නෑ.
යතුරු පැදි අනතුර වුණා කියන තැන ලයිට් කණුව නීරීක්ෂණය කළා. එතන කැඩිලා තිබ්බා. ඒ වගේම ඒකෙ ලොකු පිපිරුමක් වගේ තියෙනවත් දැක්කා.අනතුර වෙලා තියෙන්නේ ළමයි ගියපු පැත්තට විරුද්ධ පැත්තේ. යතුරු පැදියේ ඩීසල් ටැංකියේ දකුණු පැත්ත රුලි වෙලා තියනවා දැක්කා. මම හොදින් යතුරු පැදිය නීරීක්ෂණය කළා.
මමත් අවුරුදු ගානක් තිසේ ඉදන් බයිසිකල් පදිනවා. අනතුරු වෙනවත් දැකලා තියෙනවා. ඒ වගේම ඉදිරිපස ලයිට් එක ඇතුලට එබිලා. ඒක පැත්තකින් හැප්පුනා වගේ නෙමේ තිබ්බේ.
ඒවගේම මම මෝචරියෙදිත්, මල්ශාලාවෙදිත් පුතාගේ සිරුර හොදට බැලුවා. එයාගේ හිස් කබල කුඩු වෙලා තිබ්බේ. ඒක එකපාරකින් වැදිලා කුඩු වෙලා කියලා හිතන්න අමාරුයි.
මේක සාමාන්‍ය යතුරුපැදි අනතුරක් කියලා හිතන්න අමාරුයි. (පියා සාක්කි කූඩුවේ සිට හඩයි) මම සැකකරන්නේ මේක සැලසුම් සහගතව කරපු එකක් කිලයා. මගේ දරුවාගේ මරණය මිනී මැරුමක් කියලා මම සැක කරනවා.‘
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු වැඩබලන කැදවුම්කරු චින්තක රාජපක්ෂ (25) මහතා සාක්කි දෙමින් පැවසුවේ අනතුරට පත් යතුරුපැදියෙන් ඊට පැය ගණනට පෙර යක්කල හන්දියට ගිය තමාව යතුරු පැදිකරුවකු විස්න් ලුහු බැඳ ආ බවයි.
‘අපි විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සමිති සම්මේලනයේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සහාය දක්වමින් පවත්වපු පාගමනට සහභාගී වෙලයි හිටියේ. 26 වෙනිදා රාත්‍රී අපි නවාතැන් ගත්තේ යක්කලට නුදුරු ප්‍රදේශයක. 27 පාන්දර 2.30ට විතර මම මේ අනතුරට පත් වුණු යතුරු පැදියේම යක්කලට ගියා වැඩකරන අයට කෑම ගන්න. ගිහින් එද්දි යක්කල ඔරලෝසු කණුවට ටිකක් එහා මෝටර් සයිලකයක් නවත්වලා තියනවා දැක්කා. මම එනකොටම ඒකෙ හිටපු කෙනා හෙල්මට් එක දාගන්නවා වගේ දැක්කා. මම එයාව පහුකරලා ටිකක් දුර එද්දී සයිඩ් කන්නාඩියෙන් දැක්කා ඒ බයිසිකලය මාව ලුහුබදිනවා කියලා.
මම වෙගය වැඩි කරලා ඉක්මණින් ඉන්න තැනට ආවා. මම ඇවිත් මේ මිය ගිය දෙන්නට යතුර දෙද්දි කිව්වා මාව කවුරු හරි ලුහු බැන්දා ඒක නිසා පරිස්සමෙන් යන්න කියලා.
මියගිය ජානක සහෝදරයා ගාව එතනින් යද්දි දුරකතනයක් තිබ්බා. ඒකේ නොම්බරය තමයි 0713638613. ‘
මියගිය දෙදෙනා අන්තරයේ ඉදිරියෙන්ම වැඩ කළ සාමාජිකයන් බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා සාක්කි දෙමින් පැවසීය.
‘අපි පහුවදා පාගමනට අවශ්‍ය පුවරු හද හදයි හිටියේ. පාන්දර තුනට විතර අත්පත්‍රිකා වාගයක් ගෙන්න දෙල්කදට යන්නයි සිසිත සහ ජානක සහෝදරවරු ගියේ. එයාලා ගියාට පස්සේ අපි නිදාගත්තා. පාන්දර 5.30ට විතර අපි නැගිටලා කෝල් කලා. ඒත් දුරකතනය වැඩ කලේ නෑ. ඊට පස්සේ ආරංචි වුණා ඉඹුල්ගොඩ අනතුරක් වුණා කියලා. මම දෙන්නෙක් යැව්වා ඒක බලන්න. ජානකට නොම්බර දෙකක් තිබුණා. එකක් තමයි 071 36 38 613 අනික තමයි 078 34 122 06.
මේ සහෝදරවරු ඉදිරියෙන්ම වැඩ කළ අය. අපිට ගොඩක් තර්ජන තිබ්බා. ජානක සහෝදරයාටත් තිබ්බා. මට මීට කලින් තර්ජන තිබ්බා කියලා පොලිස්පතිතුමාටත් පැමිණිලි කළා.‘
මේ දුරකතන අංක ගැන වාර්තා කැදවන්නැයි මහේස්ත්‍රාත් දුරකතන සේවා සමාගමට නියෝග කළ අතර එක් දුරකතන සේවා ආයතනයක් වාර්තාවක් ඉදිරිපත් කරමින් කීවේ එම අංකයට ඇමතුම් ලැබී හෝ එයින් ඇමතුම් ගෙන හෝ නැති බවයි.  ඊට පසු නඩු දිනයේ අන්තරේ කිහිප දෙනෙක් පෞද්ගලිකව තමන්ගේ දුරකතන වාර්තා ගෙන අධිකරණයට පෙත්වුයේ තමන්ගේ අංකවලින් ඇමතුම් ගත් බව තමන්ගේ වාර්තාවල සටහන් වෙද්දී මිය ගිය සිසුවාගේ දුරකතන වාර්තාවල එසේ නැතැයි කීම ගැටළු සහගත බවයි.
ලංකාවේ නඩු තීන්දු රැසකට දුරකතන සේවා සමාගම්වල විශ්ලේශන වාර්තා හේතු පාදක වී තිබේ. එලෙස තිබිය දී මෙවැනි බොරු වාර්තා ලබා දීමෙන් සිදුවන දේ ගැන සිතා ගත හැකිය. කිසිවකුගේ බලපෑමක් මත වෙනස් නොකළා නම් එම දුරකතන සේවා සමාගම බොරු වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේ ඇයි?
අනෙක් කාරණය නම් මෙම අනතුරේ ප්‍රතිනීරූපනයකට ගොස් රස පරීක්ෂණය කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබිය දී එසේ නොකළේ ඇයි ද යන්නයි. රස පරීක්ෂක වාර්තා එන්නට ද වසර දෙකකට වඩා කාලයක් ගත විය.
සිද්ධිය වූ දිනවල ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ එදින රාත්‍රී සැකකටයුතු වාහනයක් යක්කල ප්‍රදේශයේ සැරි සරද්දී පොලිස් ජංගම රථයට හසුවී ඇති බවයි. එය පරීක්ෂා කරද්දී ජනාධිපති ආරක්ෂක අංශයේ බව තහවුරු වූ බවත් පොලිස් නිළදාරීන් ඒ ගැන ලිඛිත සටහන් තබා ඇති බවත් එම වෙබ් අඩවිය වාර්තා කර තිබිණි.
රාජපක්ෂ ආණ්ඩු කාලයේ සිදුවූ බෝ සිදුවීම් ගැන ආණ්ඩු මාරුවත් සමග රහස් පොලිසියට පැමිණිලි කල ද අන්තරේ සිසුන් දෙදෙනාගේ මරණය ගැන කිසිවකු මෙතක් රහස් පොලිසියට පැමිණිලි කර නැත. අන්තරේ සිසුහු නුවර සිට කොළඹට පා ගමනින් ආවේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට සහාය දැක්වීමටය. දැන් විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ට ද ජානක සහ සිසිත අමතකය.
සිසිතගේ නිවසේ බිත්තියේ ලියා තැබුණු බව කියන සටහනක් ඔහුගේ සගයන් විසින් ෆෙස්බුක් සමාජ වෙබ් අඩවියේ පළ කර තිබිණි. එම සටහනින් මගේ සටහන ද අවසන් කරමි.
‘කඳුළු ගෑස් .. ජල ප්‍රහාර..
බැටන් පොලු පහරට.. වෙඩි උණ්ඩයට..
බිය වූවානම්,
මේ සටන් නැවතී
නිදහස් අධ්‍යාපනය
මියැදී හුඟක් කල්....‘

(තරිඳු ජයවර්ධන)

Post a Comment

 
Top