යහපාලන රජයෙන් නියෝජ්‍ය ඇමැතිකම් ලැබූ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ලසන්ත අලගියවන්න ඇතුළු තිදෙනෙක් අද භාර කාර රජයේ නියෝජ්‍ය අමාත්‍ය හැරියෝය. රාජපක්ෂ ආණ්ඩුවේ ඇමැතිකම් අත්හැර මෛත්‍රී ඇතුළු පිරිස එළියට බැසීම තරම් මෙය වැදගත් නැති වුවද ඇතැම් මාධ්‍ය ඊට විශාල ප්‍රචාරයක් ලබා දුන්නේය.
මැතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබිය දී මේ පිරිසේ ඇමැතිකම් අත් හැරීම එතතරම් වැදගැමකට ඇති දෙයක් නොවේ. ඒවා අත්හැරියාත් නැතත් වෙනසක් නැත. සොයා බැලිය යුත්තේ ඔවුන් මේ මොහොතෝ ඇමැතිකම් අත්හැරියේ ඇයිද යන්නය.
සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යනු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨයකු මෙන්ම හිටපු ඇමැතිවරයකු ද වූ ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ ගේ බිරියයි. ඇය විශේෂඥ වෛද්‍යවරියකි. වැලිවේරියේ පැවැති අවුරුදු උත්සවයක දී බෝම්බ ප්‍රහාරයකින් ජෙයරාජ් මිය යෑමෙන් පසු සුදර්ශන දේශපාලනයට පිවිසි අතර මුල් වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ 2010 මහ මැතිවරණයෙන්ය.
ලසන්ත අලගියවන්න දේශපාලනයට ආවේ හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ සාරි පොටේ එල්ලීය. කලක් චන්ද්‍රිකාගේ ලේකම්වරයකුව සිටි ඔහුට ජාතික දේශපාලනයට ගෙන ආවේ චන්ද්‍රිකාය. මහින්ද රාජපක්ෂ රජය සමයේ ඔහු නියෝජ්‍ය ඇමැතිවරයකුව සිටියේය.
සුදර්ශනී සහ ලසන්ත යන දෙදෙනාටම රාජපක්ෂලා සමඟ ප්‍රශ්න තිබිණි. ඉන් වැඩිපුරම ප්‍රශ්න තිබුණේ සුදර්ශනීටය.
ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මරා දැම්මේ රාජපක්ෂලාගේ අනුදැනුම පිට බව ඇතැමෙක් කියති. එහි සත්‍ය අසත්‍යතාවය කෙසේ වෙතත් ජෙයරාජ් මිය යන විට ආණ්ඩුවෙන් තරමක් කැපිලි කෙටිලි තිබිණි. මේ සියල්ල සුදර්ශනී ද දැන සිටියාය.
කෙසේ වෙතත් 2010 පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඇය ගම්පහ සන්ධාන ලැයිස්තුවේ දෙවැනි තැනට පත් වූයේ මනාප ඡන්ද 186140ක් ලබා ගනිමිනි. මුළු ලංකාවෙන්ම සන්ධාන අපේක්ෂකයන්ගෙන් තෙවැනි වැඩිම මනාප ලබා ගත්තේ ද ඇයයි. ගම්පහින් මුල් තැනට ආවේ බැසිල් රාජපක්ෂය. බැසිල්ට මනාප ලැබුණා නොව අනෙක් අපේක්ෂකයන්ගෙන් සොරකම් කළ බව බොහෝ දෙනෙක් කීහ.
කෙසේ වෙතත් ඉන් පසු සුදර්ශනීලා, ලසන්තලා, පණ්ඩුලා රාජපක්ෂවරුන්ට වැඩ කළත් බැසිල් රාජපක්ෂ ගම්මට සිදුකළ ක්‍රියා නිසා ඔවුහු විරසැක වූහ. ඒ විරසැකය කොතෙක් ද යත් පසුගිය ජනපතිවරණයේ දී මෛත්‍රීට සහාය පළකරමින් එළියට නොබැස්සත් මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් හරියට වැඩක් කළේ නැත.
මෛත්‍රීපාල සිරිසේන ජනපති සහ ශ්‍රීලනිපයේ සභාපති වීමෙන් පසු ඔවුහු මෛත්‍රීගේ පැත්ත ගත්හ. රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස කටයුතු කළ යහ පාලන ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිකම් ගත්හ. බොහෝ තැන්වල ගොස් රාජපක්ෂලාට දෙහි කැපූහ.
මහ මැතිවරණයට නාමයෝජනා දෙද්දී වැඩිම ප්‍රශ්න ආවේ ගම්පහ දිස්ත්‍රික්කයේය. රාජපක්ෂ හිතවාදී ප්‍රසන්න රණතුංගගේ කැමැත්තට ලැයිස්තුවලට ඇතුළු කළ නම් කපා දමන ලෙස බල කළහ. ෆීලික්ස්, සුදර්ශනී, ලසන්ත ඇතුළු පිරිස කපා දැමීමට රාජපක්ෂලා එම ආසන වලම තවත් අය ලැයිස්තුවලට දැමූහ.
මුළු රටේම නාමයෝජනා සකස් කළත් නාමයෝජනා බාර දීමට පෙර දින සවස් වන තුරුත් ගම්පහ නාමයෝජනා ඉවසන් කර ගැනීමට සුසිල් ප්‍රේමජයන්තට නොහැකි විය. ඔවුහු සැරෙන් සැරේ පැමිණ සුසිල්ට බැණ වැදුනහ. කෙසේ වෙතත් පසුගිය ඉරිදා (12) රාත්‍රී නවයට පමණ සුසිල් නාමයෝජනා ලැයිස්තුව ද රැගෙන ෆීලික්ස් පෙරේරාගේ කොළඹ නිවසට ගියේය. සුදර්ශනී සහ ලසන්ත  ද ප්‍රසන්න රණතුංග ද එහි ආහ. ඔවුන් දැඩි වාග් සංග්‍රාමයකට ගොස් ඇති අතර තවත් දුර දිග ගියේ නම් අතින් පයින් ගසා ගන්නා තරමටම යා හැකිව තිබුණු බව දැනගන්නට තිබේ. සුසිල් ප්‍රේමජයන්ත අසනීප වී රෝහල් ගත කළේ ද ඉන් පසුවය.
මෑතක් වන තුරුම රාජපක්ෂ සහ ඔහුගේ හෙංචයියලා සමඟ ගැටුණු සුදර්ශනීලාට මෛත්‍රීගේ ප්‍රකාශය නිසා සිත් වෙදනා ඇති වේයැයි කිව නොහැකිය. මහින්දට බැට දුන් මෛත්‍රී ඉදිරි මහ මැතිවරණයේ දී ස්වාධීන වන බව කීවේය. ඒ නිසා නිරායාසයෙන්ම සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් කටයුතු මහින්ද අතට ගියේය.
සුදර්ශනීලාට දැන් ඡන්දය කරන්නට සිදුවී තිබෙන්නේ මහින්දලා සමඟය. ඊළඟ මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට රිංගා ගැනීමට නම් මහින්දලා පස්සේ යා යුතුව ඇත. ඒ නිසා ඔවුන් මහින්දලාගෙන් ලකුණු දා ගැනීමට සිය ඇමැතිකම් අත් හැරියෝය.
ඔවුන් ඇමැතිකම් ඇත් හැරියේ නිකම්ම නොවේ. අද (16) උදේ මෛත්‍රීපාල සිරිසේන ජනපති හමු වී සාකච්ඡා කිරීමෙන් පසුවය. දැන ගන්නට ඇති පරිදි මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා කැමති දෙයක් කියන්න යැයි උපදෙස් දී ඇත්තේ ද ජනපති මෛත්‍රීය. එසේ නම් සුදර්ශනීලා අද කළේ රඟපෑමකි. ඔවුන් සිය භූමිකාව හරියට රඟපෑවේය.
ඔවුන්ගේ රඟපෑමට මහින්දලා අසුවේයැයි සිතිය නොහැකිය. සුදර්ශනීට මහින්දලා සමඟ වැඩි කාලයක් දීග කෑමට සිදු නොවන බව නම් කිව හැකිය.
(තරිඳු)
z_new350 mr_110909_05

Post a Comment

 
Top