කොළඹ ආනන්ද විද්‍යාලයයේ නියෝජ්‍ය විදුහල්පතිවරයකු වන ෆ්‍රැන්සිස් වෙලේගෙන් පහර කෑ බව කියන එම විද්‍යාලයයේ 12 ශ්‍රේණියේ සිසුවෙක් මීට සති තුනකට පෙර කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත්ව ප්‍රතිකාර ලැබීය.
වෙනදා මේ සිසුවා පාසලට එන්නේ තම පියාට අයත් වාහනයකිනි. එදින රියදුරුට අසනීප නිසා ‘මං බස් එකේ ඉන්නම්‘ කියා  පාරේ බස් රථයකින් පාසලට පැමිණියේය. පොදු මගී ප්‍රවාහන සේවයේ හැටි සැවොම දනිති. සෙනඟ අස්සේ සිරවී ආ නිසා සිසුවාගේ කොණ්නඩ යාන්තම් අවුල් වී තිබිණි. (පාසලට නොගැල පෙන ලෙස අවුල් වී නොතිබිණි.) පාසල් ගේට්ටුවෙන් ඇතුළට විත් මද දුරක් යද්දීම සිසුවාට කනේ පහරක් වැදිණි. ඔහුගේ ඇස් නිලංකාර විය.
නියෝජ්‍ය විදුහල්පතිගේ පහර කෑමෙන් පසු ඔහු පාසලේ ද්‍යෛ මධ්‍යස්ථානයට රැගෙන යනු ලැබීය. එහිදී බෙහෙත් වර්ග තුනක් බොන්නට දුන්නත් සිසුවාට වමණය ගියේය. සිසුවා රෝහල් ගත කිරීමට අවශ්‍ය නිසා ඔහුගේ මිතුරකු මේ බව මේ සිසුවාගේ පියාට දැනුම් දුන්නේය. පියා ද පාසලේ ආදි ශිෂ්‍යයෙකි. ඔහු ආදි ශෂ්‍ය සංගම් විධායක කමිටුවේ ද සාමාජිකයෙකි. පහර කෑමට සති කිහිපයකට උඩට පාසලට ලොකු ආධාරයක් කළේය.
පියා දරුවා ද කැටුව විදුහල්පති හමුවීමට යද්දී කලා අංශයට මදක් ඔබෙන් විදුහල්පති හමු විය. ‘සර් බලන්න අපේ පුතාට ගහලා.‘ යැයි පියා කීවේය. ‘මෙයාව ඉක්මනින් රෝහල් ගත කරන්න.‘ යැයි විදුහල්පති කීවේය.
පුතාට කිසිම හේතුවක් නැතිව ගහලා තියෙන්නේ. ඇයි නිරපරාදේ ළමයින්ට ගහන්නේ යැයි පියා කියද්දී නියෝජ්‍ය විදුහල්පති ද අසල සිට කඩා පැන්නේ පියාට බනිමිනි.
ඒ ගැන පියා කියන්නේ මෙලෙසය.
‘ඕනෑ කෙරුමකුට කියා ඕන දෙයක් කරගන්නවා.‘ කියලා මට නියෝජ්‍ය විදුහ්ලපති බැන්නා. විදුහල්පතිත් ඉදිරිපිටදීමයි මට බැන්නේ. මං කිව්වා සර් මාත් මේ පාසලේ අදි ශිෂ්‍යයෙක්. අපේ කාලේ ළමයි වැරදි කළාම ඒ කාලේ හිටපු ශ්‍රේෂ්ඨ ගුරුවරු ළමයින්ට දඩුවම් කළා. ඒත් මෙහෙම අමානුශික විදියට දඩුවම් කළෙත් නෑ. හේතුවක් නැතිව ගැහුවෙත් නෑ. කියා මං කිව්වා. මට නියේජ්‍ය විදුහල්පති දිගින් දිගටම දෝශාරෝපනය කළා. ඉන් පසු විදුහල්පති කිව්වා දරුවා රෝහලට එක්ක යන්න කියලා. මං දරුවා රෝහලට එක්කගෙන ගියාම නවත්වන්න කිව්වා. පුතා නවත්වලා මං මරදාන පොලිසියේ පැමිණිල්ලක් දැම්මා.‘ යැයි පියා කියයි.
දෙදිනක් රෝහලේ ප්‍රතිකාර ලැබූ දරුවා රෝහලෙන් පිටවූ පසු මරදාන පොලිසියට ගොස් ප්‍රකාශයක් ද ලබා දුන්නේය.
සිද්ධිය ගැන විදුහල්පතිගෙන් විමසද්දී විදුහල්පති ගත්තේ ද නියෝජ්‍ය විදුහල්පතිගේ පැත්තමය.
‘මේ ළමයා වරදක් කරලා තියෙනවා. ළමයාගේ කොන්ඩේ හොදටම වැඩි. ඒකයි ඒ නියෝජ්‍ය විදුහල්පති ගහලා තියෙන්නේ. ඔහු බොරුවට දැන් රෝහල් ගත වෙලා ඉන්නවා. රොහලෙන් කියා තිබෙනවා නැවතිලා ඉන්නේ නැතුව ටිකට් කපාගෙන යන්න කියලා.  ළමයාගේ තාත්තාත් වැරදි විදියට නියෝජ්‍ය විදුහල්පතිට කතා කළේ. ඔහු අදි ශිෂ්‍යයෙක් කියල ආදි ශිෂ්‍යයන්ට ඕනෑ විදියට වැඩ කරන්න බැහැනේ පාසලේ.  ළමයින් විභාගේ පාස් වුණාම පත්තරවල දාන්නේ නැහැ. හැබැයි වෙන දෙයක් වුණාම මුල් පිටුවෙම දානවා.‘ යැයි විදුහල්පති කිත්සිරි ලියනගමගේ මහතා කීවේය.
විදුහල්පති කියන කතාවේ වැරදි තැන් දෙකතුනක්ම ඇත. ළමයා පහර කා වෛද්‍ය මධ්‍යස්ථානයට රැගෙන ගිය අවස්ථාවේ එතැන සිටියෙක් ගත් ඡායාරූප බැලූ කොණ්ඩය වැඩී කියන ප්‍රකශය බිඳ වැටෙයි. මේ සිසුවාගේ කොණ්ඩ වැඩි නැත. අනෙක නම් විභාග පාස් වුණාම පත්තරවල දාන්නේ නෑ කියන කාරණයයි. කොළඹ ආනන්දයේ ඇති සියලු දෑ සෑම පුවත්පතකම වාගේ පළ වෙයි. පොඩි ඉස්කෝලවලට එලෙස පළ නොවේ.
සිද්ධිය ගැන පොලිස් විමරශ්න අතරඟ මඟ නැවැතිනි. දරුවාගේ පියා මානව හිමිකම් කොමිසමටත්, ළමා රක්ෂණ අධිකාරියටත් පැමිණිලි කළේය.
මරදාන පොලිසියේ පැමිණිලි විභාගයට අවස්ථා දෙකක් නියෝජ්‍ය විදුහල්පති ආවේ නැත. තුන් වන දවසේ ඔහු ආවේය. පොලිසියෙන් පියාට කීවේ මෙය සමථ වන ලෙසයි. පොලිසියේ දී නියෝජ්‍ය විදුහල්පති පියාටම දෝශාරෝපනය කළේය. ‘මගේ ළමයා වෙනුවෙන් නොවෙයි, මේවගේ දෙයක් අනෙක් ළමයින්ට නොවෙන්න ඕන. ඒ නිසා මං සමාදාන වෙන්න කැමති නෑ.‘ යැයි පියා කීවට මරදාන පොලිසියෙන් සාධාරණය ඉටු නොවීය.
පසුගිය සිකුරාදා (19) ළමා රක්ෂණ අධිකාරියේ පොලිස් ඒකකයෙන් ද පියා කැඳවා දැනුම් දී ඇත්තේ පැමිණිල්ල සමාදාන වන ලෙසයි. ‘ඔයා ඉස්කෝලෙට බලෙන් ගියා කියලා පාසලෙන් කියනවා.‘ යැයි පොලිස් නිලධාරියෙක් පියා බය කරන්නට කියා ඇත. ‘ආනන්දෙට කොහොමද බලෙන් යන්නේ? එහෙනම් ඉතින් ගේට්ටු කඩාගෙන තමයි යන්න වෙන්නේ‘ යැයි පියා කී පසු පොලිස් නිලධාරියා නිශ්ෂබ්ද වී ඇත.
සිද්ධියෙන් සති තුනක් ගියද ආනන්ද නියෝජ්‍ය විදුහල්පතිට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී නැත. ගමේ පාසලක මෙවැනි සිද්ධියක් වූයේ නම් දැන් නියෝජ්‍ය විදුහල්පති ඉන්නේ කූඩුවේය.
කවුද මේ ෆ්‍රැන්සිස් වෙලේගේ? පසුව බලාපොරොත්තු වන්න...
Hospital
student

Post a Comment

 
Top