හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන ඇති දූෂණ චෝදනා නිසා ඔහුට නාමයෝජනා නොදුන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත සරණගේ බිරියට නාමයෝජනා දී තිබේ.
එකල මහින්ද රාජපක්ෂට වැඳ වැටීගෙන වැඩ කළ, ආණ්ඩුමාරුවත් සමග ගෝඨාභයගේ සහ බැසිල්ගේ රෙදි ගැලවූ හිටපු ඇමැති මර්වින් සිල්වාට නාමයෝජනා නුදුන් සන්ධානය ඔහුගේ බිරියට හෝ පුතාට ද නාමයෝජනා ලබා දී නැත.
මර්වින්ට නැති කරුණාව සරණ ගුණවර්ධනට ආවේ කෙසේදැයි බොහෝ දෙනෙක් සිතති.
(සරණ ගුණවර්ධනගේ හා දැන් ඔහු වෙනුවෙන් නාමයෝජනා දී ඇති කාන්තාවගේ ඇතැම් තොරතුරු සදාචාරාත්මක හේතු මත නොලියමි.)

කවුද මේ සරණ?
සරණ ගුණවර්ධන යනු චන්ද්‍රිකා බණ්ඩාරනායක සමයේ ආණ්ඩුවේ ප්‍රභල චරිතයක් වූ ලයනල් ගුණවර්ධනගේ පුතාය. පියාගේ ඇවෑමෙන් දේශපාලනයට හා සරණ පසුව ප්‍රදේශයේ ප්‍රචලිත වූයේ නොම්මර එකේ කප්පම් කාරයකු ලෙසය.
වරක් පාර්ලිමේන්තුවට පිස්තෝලයක් ගෙන යද්දී හසු විය. ඒ සිද්ධියෙන් පසු කාලයක් පාර්ලිමේන්තු තහනමක් ද ඔහුට තිබිණි.
අත්තනගල්ලේ නිවසකට පැණ දරුවකු පැහැර ගැනීම සිද්ධියේ නඩුව තවම අවසන් නැත. (එම පැහැගත් ළමයා සරණ ගුණවර්ධනගේ බවට රාවයක් පැතිර ගිය අතර තමාට සීනි නිසා ළමයින් හැදිය නොහැකි යැයි සරණ කීබවට ද කතාවකි. එම ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාව නොදනී) තමා ඉල්ලූ මුදල නුදුනේයැයි කියමින් අත්තනගල්ලලේ ඉදිකිරීමක් කරන භූමියකට පැණ ඒ දේපොළ ද විනාශ කළැයි තවත් නඩුවත් තිබේ.
මිනුවන්ගොඩ හොරැන්පැල්ලේ ඉඩමක් මිල දී ගත් ව්‍යාපාරිකයකුට දුරකතන ඇමතුමක් දී රුපියල් කෝටි දෙකක් ලබා දෙන්නැයි තර්ජනය කළ සිද්ධියක් ද මීට දෙවසරකට පෙර කරලියට ආවේය. ඒ ගැන පැමිණිලි කළ පසු දුරකතන මාර්ග ඔස්සේ මිනුවන්ගොඩ පොලිසිය පරීක්ෂණ කළේය. ව්‍යාපාරිකයාට ඇමතුම ලැබුණු දුරකතනය එවකට ඛණිජ තෙල් අමාත්‍යංශයට නිකුත් කර තිබූ බව හෙළි විය. අමාත්‍යංශ ලේකම් සනාත කර තිබුණේ එම දුරකතනය භාවිත කරන්නේ සරණ ගුණවර්ධන බවයි.
මේ සිද්ධියෙන් සරණ කර මුලටම හිර විය. කෙසේ නමුත් ප්‍රභලයකු ඊට මැදිහත් වී සිද්ධිය යට ගියේය. ඒ මැදිහත්වූ පුද්ගලයා අන් කවරකුවත් නොව මහින්ද රාජපක්ෂ බවත්, මෙම ව්‍යාපාරිකයා තම මාලිගාවට කැඳවා සිද්ධිය සමතයකට පත් කර ගන්නා ලෙස බල කළ බවත් එකල ආණ්ඩුවේ  ප්‍රභලයෙක් කීවේය.
නුවර පාරේ රඹුටන් විකුණන වෙළෙන්දාගෙන් ද සරණට දවසට රුපියල් සියයක කප්පමක් අවශ්‍ය බව එම ව්‍යාපාරිකයෝ කියති.
ඔහු ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස ද කටයුතු කළේය. එසමයේ සිදුවූ බව කියන වංචාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කළේය.
පසුගිය දා සරණ ගුණවර්ධන අත්අඩංගුවට පත් වූයේ යකඩ ගනුදෙනුවක් සම්බන්ධයෙනි. 2012 දී එම පැමිණිල්ල දැමුව ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ එහි විමර්ශන අතර මග ඇණ හිටිණි. ජනවාරි අට වැනි දා රාජපක්ෂලාගේ පරාජයත් සමග විමර්ශන නැවත ආරම්භ වී සරණ අත්අඩංගුවට පත් විය.
සරණගේ යකඩ කතාව මෙසේය.
සාහුල් හමීඩ් රාහුල් රස්මි  හලාවත ව්‍යාපාරිකයෙකි. යකඩ බඩු ආදිය විකිණීමට ඇති කඩයක හිමිකරුවෙකි. 2012 වසරේ අගෝස්තු 22 වැනි දා ඔහු පොලිස් මූලස්ථානයට ගියේ තමන්ට සිදුවූ අසාධාරණයක් ගැන පැමිණිලි කිරීමටය. සීඅයිබී 2 - 147/61 අංකයෙන් පැමිණිල්ල සටහන් විය. ඒ ලෙහෙසි පහසු පුද්ගලයකුට එරෙහිව නොවේ. රජයේ නියෝජ්‍ය ඇමැතිවරයකු වූ සරණ ගුණවර්ධනට විරුද්ධවය.
2011 අප්‍රේල් මාසයේ දිනෙක පැමිණිලිකාර ව්‍යාපාරිකයාගේ  මිතුරකු නව ව්‍යාපාරයක් පිළිබඳ යෝජනාවක් ගෙනාවේය. ඒ කඩා ඉවත් කරීමට යන බව කියන ආයෝජන මණ්ඩලයට අයත් ගොඩනැගිල්ලක යකඩ මිලදී ගැනීමටය.  එම ගොඩනැගිල්ල පිහිටියේ අත්තනගල්ල ආසනයේය.  ආර්ථික සංවර්ධන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ  එම ගනුදෙනුව සම්බන්දීකරණය සරණ ගුණවර්ධනට පැවරූ බව ද කියැවිණි. අදාළ ගොඩනැගිල්ල අසළට ගොස් එහි තත්ත්වය හා යකඩ ප්‍රමාණය ගැන බලා ගනුදෙනුවට සම්බන්ධ වීමට ව්‍යාපාරිකයා කැමැත්ත පළකළේය. ඒ අනුව  සතියක පමණ අවෑමෙන් ව්‍යාපාරිකයා කැටුව එම ගොඩ නැගිල්ල බැලීමට ගියේය.  
එතැනට තවත් දෙදෙනකු පැමිණ සිටියේය.  ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසින් රාජපක්ෂගේ සම්බන්ධීකරණ නිලධාරියකු ලෙස තමාව හදුන්වා දුන් එක් පුද්ගලයෙක් ඔහුගේ විසිටින් කාඩ්පතක් ව්‍යාපාරිකයාගේ අත තැබීය. ‘ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාගේ ආගමික කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් ලෙස‘ එම විසිටින් කාඩ්පතේ සටහන් වී තිබිණි. (ඔහු   ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකි.)

ගොඩ නැගිල්ලේ තිබූ යකඩ රුපියල් දෙකෝටි විසි පන් ලක්ෂයකට මිලදී ගැනීමට ව්‍යාපාරිකයා එකඟ විය. මුලින් රුපියල් පනස් ලක්ෂයක් ද, ඉතිරිය යකඩ විකිනීමෙන් පසු ලබා දීමට ද දෙපාර්ශ්වය ගිවිස ගත්තේ.
ඉන් දෙදිනකට පමණ පසු ආර්ථික සංවර්ධන ඇමැතිගේ සම්බන්ධීකරණ නිලධාරියා ලෙස හදුන්වා දුන් පුද්ගලයාගෙන් දුරකතන ඇමතුමක් ලැබිණි. ‘බැසිල් ඇමතිතුමාට මේක ගැන කතා කරන්න ඕනෑ. ඇමැතිතුමාගේ ගෙදරදි ගනුදෙනුව කරමු. හෙට අපි එක්ක යමු.‘ යැයි ඔහු කළ යෝජනාවට එකඟ වූ ව්‍යාපාරිකයා නීතීඥවරයකු ද සමග ගනුදෙනුව සිදු කරන්නට ආවේය.
ඇමැති සම්බන්ධීකරණ නිලධාරි ලෙස පෙනී සිටි පුද්ගලයා තවත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ද සමග එතැනට ආවේය. ඔවුන් ව්‍යාපාරිකයා සහ නීතීඥයා ද තැටුව නිවසකට ගියේය. ව්‍යාපාරිකයා සිතුවේ ඒ ඇමැති බැසිල්ගේ නිවස කියාය. ඔවුහු නිවසට ඇතුළු වූහ. එහි බැසිල් ඇමැතිවරයාගේ ඡායාරූප නොවීය. ඒ වෙනුවට තිබුණේ සරණ ගුණවර්ධනගේ ඡායාරූපය.  
‘බැසිල් ඇමැතිතුමා මේ ප්‍රදේශය බලා ගන්න දීලා තියෙන්නේ මට. මාත් එක්ක තමයි ගනුදෙනුව වෙන්න ඕනෑ.‘ යැයි නියෝජ්‍ය ඇමැති කීවේය. නියෝජ්‍ය ඇමැති ගැන විශ්වසය තැබූ ව්‍යාපාරිකයා රුපියල් පනස් ලක්ෂයක අත්තිකාරම ලබා දීමට සූදානම් වී සිය නීතීඥයා ලවා ගිවිසුම් පත්‍රයක් සකස් කළේය.
තමාගේ අතට මුදල් ලබා දෙන ලෙස ඉල්ලා සිටි සරණ එහි අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළ අතර ඒ වෙනුවට ඇමැති බැසිල්ලේ සම්බන්ධීකරණ නිලධාරී බව කියන පුද්ගලයා අත්සන් තැබීය.
මුදලින් රුපියල් ලක්ෂ 18ක් ද, රුපියල් තිස් දෙලක්ෂයක් චෙක්පතකින්ද ඔවුනට ලබා දුන් ව්‍යාපාරිකයා එම නිවසින් පිටවිය.
ඉන් පසු වරින් වර විවිද හේතු කියමින් නියෝජ්‍ය ඇමැති සහ ගෝලයන් පිරිස ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂ 96ක් ලබා ගත්තත් ඔහුට යකඩ නොලැබිණි. විවධ හේතු කියමින් යකඩ ලබා දීම මග හැරීය.
නැවතත් ඔහු නියෝජ්‍ය ඇමැති හමුවීමට ගියේය. (හඬපටය)
ව්‍යාපාරිකයා - ‘අපේ ඇමැතිතුමා අපි කෝටි එකයි ලක්ෂ අසූ දෙකක් විතර දීලා තියෙනවා.  තවම මුකුත් කෙරුණේ නෑ.‘
නියෝජ්‍ය ඇමැති - ‘මගේ දෙකයි හැට කවර් වෙන්නම ඕනෑ.‘
ව්‍යාපාරිකයා - ‘ඇමැතිතුමා මෙහෙම කරන්න බැරිද? අපේ කොස්ට් එක දීලා අපිව අයින් කරන්න.‘
මෙලෙස විනාඩි දහයක පමන සාකච්ඡාවක් ගිය අතර ව්‍යාපාරිකයා එය හොරෙන් පටිගත කර ගත්තේය.  මෙහි සම්බන්ධීකාරක ලෙස කටයුතු කළ ඇමැති බැසිල්ගේ සම්බන්ධීකාරකවරයාට දුරකතනයෙන් ඇමැතිවරයා සමග කතා කළ දෑ කී විට ඔහු කීවේ ‘දන්නවනේ ඇමැතිතුමාගේ හැටි. වෙඩි තියලා මරලා දායි. අනිත් ඇමැතිවරුත් අපි ආශ්‍රය කරනවා. එයාලා හොඳයි. මූ කිසි ගුණයක් නැති එකා. මූ ඕවා කරන්නේ ජනාධිපතිතුමාටත් කියලනේ. ජනාධිපතිතුමා එක්ක නෑදෑකමකුත් තියනවාලුනේ.‘ කියාය.  (හඬපටය ඇත)
කර කියා ගන්නට කිසිත් නැතිව අන්තයටම හිඳුණු ව්‍යාපාරිකයා පොලිස් මූලස්ථානයට ගොස් පැමිණිලි සටහන් කළේ ඒ අනුවය.
පොලිස්පති නියමයෙන් රහස් පොලිසියට පැමිණිල්ල යොමුකිරීමෙන් පසු පුද්ගලයන් රැසකගෙන් ප්‍රකාශ සටහන් කර ගත්තේය. ව්‍යාපාරිකයා දේශපාලනඥයන් අතර ගනුදෙනුව ගැන කතා වෙන හඩ පට පවා විමර්ශනයේ දී පොලිසියට ලැබිණි. චෙක්පත් පිටපත්, ගිවිසුම් පිටපත් ද පොලිසියට ලැබුණත් විමර්ශන අතරමඟ නැවැතිණි.
මේ අතර තමාට සිදුවූ අසාධාරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිලි කිරීමෙන් පසු ව්‍යාපාරිකයාට හදිසි දුරකතන ඇමතුමක් ලැබිණි. ඒ පැමිණිල්ල ඉල්ලා අස් කර ගන්නා ලෙස බල කරමිනි. (හඩපටය මෙසේය)
 තර්ජනය කරන පුද්ගලවා - ඇමැතිතුමාට විරුද්ධව දාපු කොම්ප්ලේන් එක හෙට දිවුරුම් පෙත්සමක් දීලා අස් කරගන්න ඕනෑ හරිද? නැත්නම් ගොඩක් කරදර වෙයි ඔයාට.
ව්‍යාපාරිකයා - මහත්තයා වැරදි නම්බරයකට ද දන්නේ නෑ කතා කරන්නේ.
තර්ජනය කරන පුද්ගලයා - නෑ නෑ අපි සේරම හොයාගෙන කතා කරන්නේ. දන්නවනේ අත්තනගල්ල පැත්තේ වෙච්චි දේවල්. වහාම හෙට පැමිණිල්ල ඉල්ලා අස්කරගන්න. අපි නරක මිනිස්සු කියන්න එපා. කොහෙන් කළෙවර වෙයිද දන්නේ නෑ.ඔයා ලොකු අමාරුවක වැටෙන්න යන්නේ.‘
තර්ජනය කරන හඬපටයත් සමග  2013 අප්‍රේල් 20 වැනි දා  හලාවත පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර එම ඇමතුම ලබා දුන් කිසිවෙක් මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නැත.
මේ සිද්ධියට බැසිල් රාජපක්ෂගේ සහ මහින්ද රාජපක්ෂගේ ද නම් ගෑවෙන බැවින් ඔවුන්ගෙන් ද ප්‍රකාශ සටහන් කර ගත යුතු වුවද මෙතෙක් එය සිදුවී නැත.
මේ කීවේ සරණගේ ටිකක් පමණි.

මෙහව් සරණගේ බිරියට (ඔවුන් කියා ගන්නා පරිදි) නාමයෝජනා දීමෙන් සන්ධානයේ ප්‍රභලයන් ගැන කුමක් සිතා ගත හැකිද? එවැන්නන්ට ඡන්දය දී පාර්ලිමේන්තුවට යැවීමට තරම් අපේ මිනිසුන් මෝඩද?

Post a Comment

 
Top