ලංකා ඊ නිව්ස් කර්තෘ සඳරුවන් සේනාධීර සමල ලංකාදීප එසැණ කළ සාකච්ඡාවකි.


 
1) ලංකාවේ දැන් මාධ්‍ය නිදහසක් නැති බවත්, බොහෝ මාධ්‍ය පක්ෂග්‍රාහීව කටයුතු කරන බවත් හිටපු ජනපති කියනවා. ඒ ගැන ඔබේ අදහස?

ඔහුට මුලින්ම අමතක වුනේ ඔහුගේ තාත්තා ඔහුට දාපු නම. පර්සි මහේන්ද්‍ර කියන නම අමතක කරලා මහින්ද වෙනවා. පස්සේ ජනතාව වෙනුවෙන් පයින් කතරගම ගිය ගමන එහෙම අමතක වෙලා පවුලෙ එක එක්කෙනාට හෙලිකොප්ටර් නැතිව පොඩි දුරක්වත් යන්න බැරිවෙනවා . බලයට ගෙනා මංගල චන්ද්‍රිකා ශ්‍රීපති වගේ අය අමතක වෙලා  ඔහුව මරාගෙන මැරෙන බෝම්බ කරුවන් ගෙනා ජොන්ස්ටන්ලා  ලොකු වෙනවා. යුද්දෙ දිනා දීපු හමුදාපතිව අමතක වෙනවා. යුද්දෙ දිනලා පාර්ලිමේන්තුවේ කරපු කතාව අමතක වෙලා ජාතිවාදය ආගම්වාදය කර පින්නා ගන්නවා. දැන් ඔහු මීට මාස 6 කට කලින් අවුරුදු 9ක් මේ රටේ හිටිය ජනාධිපති කියලා අමතක වෙලා.. ඒ කාලේ මාධ්‍ය ආයතන ගිනි තියපුවා මාධ්‍යවේදීන් මරා දමපුවා අතුරුදහන් කරපුවා අමතක වෙලා.. ඒ කාලේ රාජ්‍ය මාධ්‍ය පක්ෂග්‍රාහීව වැඩ කළහැටි අමතක වෙලා. ඕක ලෙඩක්. ඉංග්‍රීසියෙන් කියන්නේ ඇමිනීසියා කියලා. සාමාන්‍ය සිංහල මිනිස්සු කියන්නේ ‘පිස්සු‘ කියලා.

2) ලංකා ඊ නිව්ස් කාර්යාලයය ගිනි තැබීම ගැන නොයෙක් මත තිබෙනවා. සමහරුන් කියනවා එය ඔබම ගිනි තබා ගත් බව. පොලිසියෙන් ඒ දවස්වල කිව්වා එහි තිබී විවිධ දේ හමු වූ බව. මොකක්ද ඇත්ත කතාව? ඇයි ලංකා ඊනිව්ස් ගිනි කාර්යාලය ගිනි තියන්න ඇත්තේ?

‘‘මම මගේ කාර්යාලය ගිනි තියාගන්නේ මොකටද? කාර්යාලය විතරක් නොවෙයි එතන තිබුනේ මං පාසැල් යන කාලේ ඉඳලා එකතු කරපු පොත් පත්  තුන් දහසක් පමණ ගිනි ගෙන විනාශ වුනා. මගේ අම්මගෙයි තාත්තගෙයි මංගල පින්තූරෙ, මගේ දරුවන්ගේ මතක සටහන් පවා ගින්නෙන් විනාශ වුනා. එවැනි දෙයක් මටම කරගන්න මට පිස්සුවක් නෑ. අනෙක මං ඒ වන විට ලංකාවේ හිටියෙත් නෑ. විවිධ දේ හමුවුනා කියන්නේ කොන්ඩම් හමුවුනැයි පොලිසිය කියපු කතාව වෙන්න ඇතිකොන්ඩම් කියන්නේ ගිනි ගැනීමක් ඇතිකරවන භාණ්ඩයක්ද? කොන්ඩම් කියන්නේ මොනවා හරි ආරක්ෂාවකට භාවිතා කරන දෙයක්නේ..  ගිනි තියන්න හේතු වුනේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හොරෙන්ම ගිහින් ඇමරිකාවේ හූස්ටන් වල තියෙන පිලිකා රෝගීන්ට පමණක් ප්‍රතිකාර කරන රෝහලකින් ප්‍රතිකාර ලබා ගැනීම ගැන අප පලකළ පුවතයි. ඒ ගිනි තැබීම ගැන පරීක්ෂනයක් කරන්න ඕනේ. වැරදි කරුවන්ට දඬුවම් දෙන්න ඕනේ. අලුත් ආණ්ඩුව පවා ඒ ගැන පරීක්ෂණ නොකිරීම ගැන මං  ගොඩක් කලකිරීමකින් ඉන්නේ. මං ඒ ගැන අලුත් ආණ්ඩුවේ ප්‍රබලයෙකුගෙන් ඇහුවහම කීවේ මං ලංකාවට ඇවිල්ලා පැමිණිල්ලක් කරන්නේ නැතිනම් පරීක්ෂණ කළ නොහැකි බවයි. ඒක විකාර කතාවක්. මරා දැමූ මිනිහෙක්ගේ මරණය ගැන පරීක්ෂණ කරන්න ඒ මිනිහා වලෙන් නැගිටලා ඇවිත් පැමිණිලි කරන්න ඕනෙද? ‘‘

3) පෝද්දල ජයන්තට පහර දීම ගැන ඔබ සහ ලංකා ඊ නිව්ස් තවත් කෙනකු අත්අඩංගුවට ගත්තා නේද?

‘‘පෝද්දලව පැහැර ගත්තා කියලා මුලින්ම කීවේ ඒක දැකපු අසල කඩයක හිටිය කෙනෙක්. ඔහු දුරකථනයෙන් මට කීවා අන්න ඕගොල්ලන්ගේ අර පෝද්දල ජයන්ත වගේ කෙනෙක් දැන් ඇඹුල්දෙනියෙ හන්දියෙන් බස් එකෙන් බහිනවත් එක්කම සුදු වෑන් එකකට ඇදලා දාගත්තා කියලා. මම අපේ ප්‍රවෘත්ති කර්තෘට ඒ ගැන එවක ජනාධිපති මහින්ද රාජපක්ෂට කියන්න කියලා. පෝද්දලට කෝල් කළා. දුරකථනය වැඩ කලේ නෑ. ඔෆිස් එකෙන් පිටත් වුනාද කියලා හෙව්වා. පිටත් වෙලා තිබුනා. ගෙදරට කතා කළාම ගෙදරට ඇවිත් නෑ. එතැන ඉඳන් අපි පෝද්දල හොයා ගන්න ක්ෂණිකව මැදිහත් වුනා. ජනාධිපති මහින්ද ඒ වෙනකොටත් මාධ්‍යවේදීන් කණ්ඩායමක් සමග සාකච්ඡාවක හිටියේ. ඒ සාකච්ඡාවට පෝද්දල ගිහින් තිබුනේ නෑ. කොහොම වුනත් ඉක්මන් මැදිහත් වීම නිසා පැහැර ගත් මිනීමරුවන්ට පෝද්දලව මරා දාන්න කලින් එළියට දාන්න සිද්ධ වුනාඒ ගැන අපෙන් පළිගන්න තමයි අපි පෝද්දල පැහැර ගැනීම ගැන දැනගෙන හිටියා කියලා කැකිල්ලේ නීතිය අනුව මාවත් අපේ එවක ප්‍රවෘත්ති කර්තෘ බෙනට් රූපසිංහවත් එදාම හවස අත් අඩංගුවට ගත්තේ. රැයක් පොලිසියේ තියාගෙන ඉඳලා පහුවදා රිමාන්ඩ් කරන්නමයි හැදුවේ. ඒ අවස්ථාවේ අපිව මහේස්ත්‍රාත්ට ඉදිරිපත් කරපු පොලිස් නිලධාරියා මේක අසාධාරණයක් නිසා රිමාන්ඩ් කරන්න කියා ඉල්ලුවේ නෑ. එනිසා ඇප දුන්නා. පසුව නඩුව අහක දැම්මා. අපි දෙන්නාට මාස ගානක් හැමදාම ඉරිදට ගිහින් පොලිස් පොතේ අත්සන් කරන්න වෙලා තිබුනා. අර අපව රිමාන්ඩ් කරන්නැයි නොඉල්ලූ පොලිස් නිලධාරියාව පසුවදාම ත්‍රිකුණාමලයට මාරු කළා.. එහෙම තමයි ඔය අද බුදු වෙලා වගේ කතා කරන රාජපක්ෂලා වැඩ කළේ..‘‘

4) ඊ නිව්ස් සේවකයකු වූ ප්‍රගීත් එක්නැලිගොඩට ඇත්තටම මොකද වුණේ? ඔහු අවසන් වරට ඔබ සමඟ ඉඳලායි ගියේ. ?

ඔහු සේවකයෙකු නොවෙයි. ඔහු ඊ නිව්ස් වෙනුවෙන් කළ කිසිදු සේවයකට මුදල් අරගෙන නෑ. ඔහු මගේ දීර්ඝ කාලීන මිතුරෙක්.. එදා මගේ ජීවිතයේ ඉතාම අවසනාවන්ත දිනය. තවමත් හීනෙන් පේනවා. එදා 2010 ජනාධිපතිවරණය දින දෙකකට කලින් දිනය. ප්‍රගීත් එදා උදේ මට කෝල් කරලා කීවා එයාගේ නිවස අසල අංක රහිත සුදුපාට වෑන් එකක් තිබෙනවා කියලා. මං කීවා ගෙදරින් එළියට බහින්න එපා. මං කළ හැකි දෙයක් කරන්නම් කියා. එවිට ඔහු කීවා මං දැනටමත් ගෙදරින් පිටත් වෙලා ඉන්නේ කියලා. ටික වේලාවකට පස්සේ ඔහු අපේ කාර්යාලයට ආවා. කිසියම් අප නොදන්නා පුද්ගලයෙක් දඹුල්ලේ සිට එනවා කියා ඔහු එන තුරු බොහෝ වේලා රැඳුනා. අන්තිමේ රෑ 7.30 පමණ ඒ පුද්ගලයා ත්‍රීවීලර් රථයකින් ආවා කීවා. ඔහු රාජගිරියේ කාර්ගිල්ස් ෂොප් එක අසල ඉන්නවා ඔහු සමග යනවා කියා ගියා. ප්‍රගීත්ගෙන් මා ඒ වෙලාවේ ඇහුවා කව්ද මේ කොහෙද යන්නේ කියා. ඔහු ඒ පුද්ගලයා ඉතා වැදගත් පුද්ගලයෙක් බවත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට ඔහුව හඳුන්වාදීමට අවශ්‍ය බවත් කියා ගියාඒක තමයි අවසන් යෑම. ඒ ආව කෙනා තමයි ඔහුව පැහැරගැනීමට යෙදූ ඉත්තා. ඔහු පසුපස ඔහුව ඇරලන්න ගියානම් ආව පුද්ගලයා කව්දැයි දැන ගන්න තිබුනා. එසේ කරන්නට නොහැකි වීම ගැන මා තවමත් දුක්වෙනවා. කොහොම වුනත් පහුවදා දහවල් 10.30 ට විතර තමයි දැන ගත්තේ ඔහු ගෙදර ගිහින් නැති බව. එදා ඉඳන් අද දක්වාම අපි ප්‍රගීත්ට වූ දේ හොයනවා.. හැබැයි එක දෙයක් කිව යුතුයි. පෝද්දල පැහැර  ගත් අවස්ථාවේදීම දැන ගත්තා වගේ ප්‍රගීත් එදා රෑ ගෙදර නොගිය බව එදා රෑම මා දැනගත්තා  නම් යම් වෙනසක් වෙන්න ඉඩ තිබුනා කියා මට හිතෙනවා. කොහොම වෙතත් එදා පාන්දර 2 විතර වෙනකම්ම අපේ කාර්යාලය ගැන ඔත්තු බලමින් සුදු වෑන් රථයක් තිබුනා. එහි හිටියේ පාන්දර වෙලත් ටයි පටියක් බැඳගත් අයෙක්..  මේ වෙනකොට ගොඩක් දේ දැන් හෙලි වෙලා තියෙනවා. සීඅයිඩිය පරීක්ෂණ සිදුකරන නිසා ඒවා හෙලිදරව් නොකර ඉම්මු..!  ප්‍රගීත්ව අතුරුදහන් කළ පුද්ගලයන්ට දඬුවම් ලැබේවි කියා විශ්වාසයක් තියෙනවා. “

5) එක්නැලිගොඩගේ මරණය සම්බන්ධයෙන් රාජපක්ෂ රජයේ මෙන්ම වර්තමාන රජයේ ඉන්න ඇමැතිවරයකුට සමහරු ඇඟිල්ල දිගු කළා?

ඔය කියන්නේ චම්පික රණවක ඇමැතිවරයා ගැන. මා ඒක විශ්වාස කරන්නේ නෑ. කවදාවත් විශ්වාස කළෙත් නෑ. ඇඟිල්ල දිගු කරන අය කියන්නේ චම්පික රණවකගේ ලිංගික ජීවිතය ගැන ප්‍රගීත් ලියූ ලිපියක් නිසා චම්පික ප්‍රගීත්ගේ අතුරුදහන් කිරීමට සම්බන්ධයි කියා. එකක් කිව යුතුයි. ඔය කියන ලිපිය ලියුවේ ප්‍රගීත් නොවෙයි. එහි වගකීම මා දරනවා. ඒ ලිපියෙන් චම්පික රණවක ඇමැතිවරයාට ඍජුව චෝදනා කළෙත් නෑ. දැන් අන්තර් ජාලයේ සැරි සරන ලිපිය ව්‍යාජ මඩක්. අවසාන අතුරුදහන් කිරීමට පෙර අගෝස්තුවේදි ප්‍රගීත් පැහැර ගැනීමකට ලක්වී තිබුනා. ඒ වනවිට ඔය කියන ලිපියක් පලවී තිබුනෙත් නෑ. පළමු පැහැරගැනීම කළ අයම තමයි දෙවැනි වරටත් පැහැර ගෙන අතුරුදහන් කිරීමට වග කිව යුත්තේ. එවැනි තත්ත්වයක් තිබියදී චම්පික රණවක ඇමැතිවරයාට නිකරුණේ චෝදනා කිරීම වැරදියි. ඒක චම්පිකටත් ප්‍රගීත්ටත් දෙදෙනාටම කරන අවමානයක්, අසාධාරණයක්..“

6) උදය ගම්මන්පිල කියනවා ලසන්ත වික්‍රමතුංග, ප්‍රදීප් එක්නැලිගොඩ ඇතුළු මාධ්‍ය වේදීන් මරා දැමීම, අතුරුදන් කිරීම හා පහරදීම් ගැන විමර්ශන ඔවුන්ගේ රජයක් යටතේ යළි අරඹන බව?

‘‘ගම්මන්පිල ආන්ඩුවක් පිහිටුවන්න එපැයි.. ඔහු සම්බන්ධ ආණ්ඩුවක් එන්න තව දශක කිහිපයක් යාවි. ඒ වෙනකොට ලසන්තලා ප්‍රගීත්ලා ගැන විමර්ශන වෙලා වැරදි කාරයෝ දඬුවම් ලබා තියේවි. අනෙක පහුගිය කාලයේ මාධ්‍යවේදීන් ඝාතනය කරද්දි පැහැරගනිද්දි ගම්මන්පිල හොල්මන් පිල වෙලා හිටියාද?

7) ඔබ ලංකාවෙන් පිටවූයේ ඇයි?

“2009 වසරේදි ලසන්ත ඝාතනයෙන් පස්සෙ මාව රහස් පොලිසිය සහ වෙනත් ආරක්ෂක අංශ විසින් 9 වතාවක්ම ප්‍රශ්න කිරීම් වලට ලක් කළා. 2010 ජනාධිපතිවරණයට දින දෙකක් තියා තමයි ප්‍රගීත්ව පැහැරගත්තේ. ජනාධිපතිවරණය අවසන් ප්‍රතිඵලය නිකුත් වීමෙන් පසුව ලැබුනු තොරතුරු අනුව අප ආරක්ෂිත ස්ථාන වලට ගියා. ඒ ගිහින් විනාඩි 30 ක් යන කොටම කැබ් රථයකින් පැමිණි කළු ඇඳුම් ඇඳගත් පිරිසක් අපගේ කාර්යාලය වට කරලා අපව සෙව්වා. ඉන්පසුව ඔවුන් අපගේ කාර්යාලට පිටතින් ඉබ්බන් දමා ගියා. අපට කාර්යාලයට යන්නත් බෑ. ඒ ස්ථානය හිමිකරුට තර්ජනය කළා. වතුර කැපුවා. දුරකථන කැපුවා. ඒ අතරවාරයේ මා එක රාත්‍රියක කාර්යාලය තිබූ ස්ථානයට ආවා. ඇවිත් මොහොතක් ගියේ නෑ පෙර කී කැබ්රථය හඹා ආවා. මා පලා ගියා. එක් රාත්‍රියක විනාඩි 15 ක් තුල දුරකථන ඇමැතුම් 40 ගණනක් දෙමින් ‘උඹ කොහේ හිටියත් මරා දානවා පවුලේ අය මරා දානවා‘ කියමින් තර්ජනය කළා. ඒ දුරකථන අංක මා සතුව තියෙනවා. එ්වා කොම්පියුටර් ජෙනරේටඩ් අංක. ඉන්පසුව මාසයක් පමණ කාලයක් සැඟවී සිටීමෙන් අනතුරුව තමයි රටින් පිටත්ව ගියේ. “

8) ඊ නිව්ස් තහනම් කළේ ඇයි?

ඒක හරියටම දැන ගන්න පුළුවන් මහින්ද රාජපක්ෂගෙන්ම තමයි. නමුත් මා විශ්වාස කරන්නේ භාරත ලක්ෂ්මන් ඝාතනයෙන් පසුව එය වසන් කරන්න රාජපක්ෂ රෙජීමය උත්සාහ කරද්දී ඒ ගැන සත්‍ය තොරතුරු හෙලිදරව් කිරීම තමයි තහනම් කිරීමට ආසන්න හේතුව වුනේ.. “

9) ඔබ වෙබ් අඩවියේ භාවිත කරන ඇතැම් වචන ගැන විවේචන තිබෙනවා?

ලංකාවේ වැඩිම මර්දනයකට ලක්වූ මාධ්‍යය ලංකා ඊ නිව්ස්. රාජපක්ෂ රෙජීමය මගේ මිතුරන් අතුරුදහන් කරද්දී, මගේ මාධ්‍ය සගයන්ව නිකරුනේ අත් අඩංගුවට අරන්  හිර ගෙවල්වල ලග්ගවද්දී, මගේ දේපොල ගිනි තියද්දී, මගේ මාධ්‍යය සම්පූර්ණයෙන්ම තහනම් කරද්දී, මා වසර 48 ක් ජීවත් වූ උපන් බිමේ ඉන්න නොදී එළවා දමා නාඳුනන රටක සරණාගතයෙක් කරද්දී, මගෙන් කාලිදාසයන්ගේ කාව්‍යමය භාෂාව බලාපොරොත්තු වීම විහිලුවක්.., අනෙක පසුගිය වසර 5 ක කාලය තුල මා ලීවේ නිදාගත් මිනිසුන් අවදි කරන්න..ඒක දැනුවත්ව භාවිතා කළ විලාසයක්. දැන් එහි කඩ ඉමකට ඇවිත් තියෙනවා. තහනම ඉවත් වෙලා තියෙනවා. සමාජය යහපත් වේවි. අනාගතයේ ඊට ගැලපෙන ලෙස අපේ භාෂාවත් වෙනස් වේවි.“

10) රට ගිය මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් ලංකාවට ආවා. ඇයි ඔබ ලංකාවට නාවේ?

කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි දැන් සුදුවෑන් වලින් මාධ්‍යවේදීන් පැහැර ගන්නේ නැති වුනාට පැහැර ගැනීම් මරා දැමීම් ගිනි තැබීම් කළ අපරාධ කරුවන් සහ ඔවුන්ගේ ගෝඩ් ෆාදර්ලා තවම නිදැල්ලේ. කිසිවෙක් අත් අඩංගුවට අරන් නෑඔබ දන්නවාද රාජපක්ෂ රෙජීම සමයේ ජනාධිපති ආරක්ෂක අංශයෙන් අතුරුදහන් වූ අවි ආයුධ රැසක් තවම සොයාගෙන නැති බව.? ඔබ දන්නවාද කිසිදු තැනක ලියාපදිංචියක් නොමැතිව මිනීමරු කල්ලි භාවිතා කළ දුරකථන රාශියක් තවමත් සොයාගෙන නැති බව. ඒවා තවමත් ක්‍රියාත්මකයි.. ඒ කියන්නේ තවම අනතුර පහව ගොස් නෑ. දෙවැන්න තමයි, මා රටින් පිටවූ පසුව මා නිර්මාණය කළ මගේ අභ්‍යන්තර තොරතුරු සේවයක් තිබෙනවා. එහි දහසකට ආසන්න පිරිසක් සෑම ක්ෂේත්‍රයකම ස්වේච්ඡාවෙන් ක්‍රියා කරනවා. එනිසා රටේ සැබෑ තත්ත්වය ගැන මට ඉතා හොඳ තක්සේරුවක් තිබෙනවා. ආරක්ෂාව ගැන බියක් නැති බව මගේ අභ්‍යන්තර තොරතුරු සේවය තහවුරු කළ පසු සහ මා දැන් ජීවත් වන රටේ ආරක්ෂක අංශ විසින්ද ලංකාවේදී මගේ ආරක්ෂාව ගැන බිය නොවන්නැයි මට උපදෙස් දුන් පසු මා ලංකාවට එනවා.“
11) ලංකාවේ තොරතුරු ඔබට ලැබුණෙ හොකොමද?
පිළිතුර -  මම මේ කිසිවක් තනියම සිදු කළේ නෑ.   රටේ විශාල පිරිසක් ලංකා ඊ නිව්ස් සමග එක්ව පරිත්‍යාගශීලීව බිය නැතිව තොරතුරු දුන්නා.  ඒ සත්‍ය පිළිගත් ජනතාවක් හිටියා. ඔවුන් නැතිනම් ඊ නිව්ස්   නැහැ.  ගිනි තැබූ අවස්ථාවේදී මෙන්ම තහනමින් පසුවත් අපට මුදලින් ශ්‍රමයෙන් ද්‍රව්‍ය වලින් පරිත්‍යාග කළ ජනතාවට සංවිධාන වලට ස්තුති කරනවා.
(තරිදු)

Post a Comment

 
Top