mahinda-maithri-970x623

මහින්ද රාජපක්ෂට මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ මෛත්‍රී බැල්ම ලැබෙනු ඇතැයි ‘ලක්ෂ 58 කල්ලියේ‘ නායකයෝ බලාපොරොත්තු වෙති. මහින්දට ලැබෙන මෛත්‍රී බැල්මෙන් තමන්ට ද ගොඩ යාමට හැකියැයි ඔවුහු බලාපොරොත්තු වෙති. ඒ වෙනුවෙන් කළ හැකි ඕනෑම දෙයක් කිරීමට ද ඔවුහු පෙළෙඹෙති.

මහින්ද - මෛත්‍රී ගැටුම ආරම්භ වූයේ පසුගිය නොවැම්බර 21 වැනි දා මෛත්‍රී පොදු අපේක්ෂකයා වීමෙන් පසු බව බොහෝ දෙනෙක් සිතති. සත්‍ය වශයෙන්ම මෛත්‍රී - මහින්ද ගැටුම ආරම්භ වූයේ 2006 දී පමණ බව දන්නෝ දනිති. ජාතික වප් මඟුල් උළෙලට ගොස් එමින් සිටි මෛත්‍රී බෝම්බ ගසා ඝාතනය කරන්නට උත්සාහ කළේ කවුරුන්ද යන්න ඉහළ පෙළේ දේශපාලනඥයෝ දනිති. මොරගහකන්ද ව්‍යාපෘතිය ඇරැඹි දිනට පසු දින මෛත්‍රීගෙන් මහවැලි අමාත්‍යංශය ඉවත් කළේ කවුද? මෛත්‍රීට අගමැතිකම දෙන්නැයි ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයන් ඉල්ලද්දී එය නුදුන්නේ කවුද? භාරත ලක්ෂ්මන්ගේ මළ ගෙදර ගියායැයි අරලියගහ මන්දිරයට කතා කර මෛත්‍රීට බැන්නේ කවුද? ආණ්ඩුවේ වැරදි පෙන්වා දෙද්දී කතා කර බැන්නේ කවුද? සෞඛ්‍ය ඇමැති ලෙස වැඩ කරගෙන යෑමට ඉඩ නුදුන්නේ කවුද? මෛත්‍රී පොදු අපේක්ෂකයා ලෙස එළියට බැස්ස පසු ඔහු ඝාතනය කරන්නට කුමන්ත්‍රණය කළේ කවුද? ඔහුට මඩ ගහන්නට කළ හැකි සියලු දේ කළේ කවුද? මේ සියල්ල මෛත්‍රීපාල නොදැන සිටිය නොහැකිය.

දෙවරක් තමා මරා දැමීමට කුමන්ත්‍රණය කළ පිරිස් සමඟ නැවත මෛත්‍රී දීග කයිද?

මැදමුලන ප්‍රකාශයක් කරනවා යැයි කියමින් මහින්ද නැටූ නාඩගමේ කිසිදු ප්‍රතිඵලයක් නැත. අඩ බෙර ගසා නාඩගම නැටීමට මුල පිරුවත් අවසානයේ සියලු දෙනා භය භීරාන්තව කර කියාගත දෙයක් නොහැකිව නිකත් අදෝනාවක් කියා පෑවේය. මහින්දට කතාව පැටළිණි. විමල් නාහෙන් ඇඩීය.

මහින්දට අගමැති අපේක්ෂකකම හෝ කණ්ඩායම් නායක කම නොදෙන බව බ්‍රහස්පතින්දා රාත්‍රී මෛත්‍රී පක්ෂ නායක රැස්වීමේ දී ස්ථිරවම කියා තිබිණි. එසේ කියූ මෛත්‍රී පසුවදා මහින්දට මෛත්‍රිිය දක්වයිද? සුසිල් නිකුත් කළ නිවේදනයට මෛත්‍රී අත්සන් තබා නැත. මෙතරම් වැදගත් තීන්දුවක් මාධ්‍ය සාකච්චාවක් කැඳවා සුසිල් නොකිව්වේ ඇය? මේ සියල්ල ගැටළු සහගතය.

අනෙක නම් සුසිල්ගේ නිවේදනයට කළබල විය යුතු නැත. මහින්දට නාමයෝජනා දෙන බව එහි සඳහන් වුවද සන්ධානයේ කණ්ඩායම් නායක හෝ අගමැති අපේක්ෂක ලෙස මහින්ද නම් කළ බවක් එහි නොවිනි. එමෙන්ම මහින්දගේ හොරු රැලට නාමයෝජනා දීමට මෛත්‍රී එකඟ වූ බවක් ද එහි නැත.

සුසිල්ගේ හැසිරීම ගැන කිසිම කෙනෙක් කළබල විය යුතු නැත. ඔහු ගිරයට හසුවූ පුවක් ගෙඩියක් බදුය. ඔහුගේ ෆයිල් මහින්ද ළගත් ඇත. මෛත්‍රී ළඟත් ඇත. මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ද ඇත. පාඩු ලබන තෙල් සංස්ථාවේ සල්ලිවලින් තම බිරියගේ රෝහල් බිල ගෙවූ රාජපක්ෂ රජයේ ඇමැතිවරයා කවුදැයි නුදුරේ දීම රටට හෙළි වනු ඇත.

හොරු රැල දමා මහින්ද මෛත්‍රී ළඟට එයිද? අගමැති අපේක්ෂක කම හා කණ්ඩායම් නායකකම නැතිව මහින්ද නිකම්ම නිකම් අපේක්ෂකයකු ලෙස ඡන්දයට එයිද? එලෙස ආවොත් මහින්දගේත්, පළමු වරට පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන හිරුණිකාගේත් අතර කිසිදු වෙනසක් නැත.  හොරු රැල දමා මහින්ද එවැනි යෝජනාවකට එකඟ වී මෛත්‍රීගේ ඔඩොක්කුවට එන්නේ නම් ඒ නියත වශයෙන්ම තම පවුලේ වංචා හා දූෂණ වසා ගැනීමටය. එසේ නොපැමිණ වෙනත් පක්ෂයකින් ඉදිරිපත් වන්නේ නම් ඒ හොරු රැලේ ආරක්ෂාව පිණිසය.

සිදුවන්නේ කුමක්දැයි ඉදිරි දින කිහිපය තුළ බලා ගත හැකි වනු ඇත....


Post a Comment

 
Top